
ඔහුගේ පළමු නවකතාවම ඔහුව තරුවක් කළා පමණක් නොවෙයි, හොඳම ප්‍රථම නවකතාවට හිමි සම්මානයත්, දහස් සංඛ්‍යාත පාඨක හදවත් නැමති සම්මානයත් ඔහු දිනාගත්තා. හැමෝම දිව්වේ මේ “අළුත් රචකයාගෙ” පොතක් මිලට ගන්නයි. ඔහුගේ ශෛලියේ බොරු නැහැ. “අමු” ඇත්ත කියන්න ඔහු පැකිලුනේ නැහැ. ඔහුගේ භාෂාව කේක් ගෙඩියක පමණට තවරපු අයිසිං වගේ. කේක් සැරසිල්ලෙ උඩින්ම තියෙන චෙරි ගෙඩියක් වගේ. සිංහල නවකතාවක් සාකච්ඡා කර නොමැති මාතෘකාවක් තම දෙවැනි නවකතාව වන සී+ ඔස්සේ ස්පර්ශ කළ අතර කවර මාතෘකාවක් පාදක කර ගත්තත්, ඔහුගේ ප්‍රවේශය නැවුම්.

තම පළමු නවකතාව වූ තී හා තා සමඟ පාඨක උන්මාදයක් ඇතිකළ සුරත් ද මැල්, දැන් හොඳ පලපුරුදුකාරයෙක්. ඔහුගේ තුන්වන නවකතාව ඩුඕ සමඟ දැන් ඔහු කතුවරයෙක් විදිහට ශක්තිමත් අත්තිවාරමක් දමා අවසන්.

“බුද්ධිට තිබුණේ නැත්තෙ බුද්ධිය විතරයි..” ඔහු නවකතාව පටන් ගන්නෙ පලාතෙ චණ්ඩියාගෙ නමත් කල්ක්රියාවත් අතර තියෙන පරස්පරයට අපූරු නිදසුනක් සපයමින්. ඔබ හිතාගෙන ඉන්නේ හොඳ කෝපි කෝප්පයක් වත්කරගෙන “ඩුඕ මූඩ්” එකට සැනසීමෙ හරිබරි ගැහෙන්න නම්, පරිස්සමින්. ඔබ මේ නවකතාවට ඇතුලු වෙන්නෙම බෙල්ලත් කඩාගන්න වේගයකින්. කෙටි, සවිස්තරාත්මක ඡේද සෑම මොහොතක්ම ටක්කෙටම විස්තර කරනවා. සුරත් ඔබව සූදානම් කරන්නේ කෙටි දුර ධාවන තරගයක වේගයට. නාස්තිකරන්න කාලයක් පාඨක ඔබට නැහැ.

එක් සිද්ධියකින් තවත් සිද්ධියකට ඔබ ගමන්කරනවා. විටෙක ඔබ ඉන්නෙ කෑගල්ලෙ. ඊ ළග මොහොතෙ කේරලයෙ. ඔබ සාරා සහ උමාගෙ ජීවිත අතරෙ දෝලනය වෙනවා. සිදුවීම් දෙකක් සහ අතුරු කතා රාශියක් ඇසුරෙන් ඔබව බැඳතබන්නෙ දකුණු ආසියාවේ “ගැහැණියක” වීමේ වේදනාවටයි.
මෙය ශෝකාලාපයක් යැයි ඔබ කලබල විය යුතු නැහැ. එක මොහොක් හෝ ඔබට මෙය එපා වෙන්නෙ නැහැ. මෙය ඛේදාන්තයක්ද, සුඛාන්තයක්ද, යථාර්ථයද කියා ඔබම තීරණය කරගන්න. නවකතාවේ ඇදනැති ගලායාම අපට දනවන්නේ චිත්‍රපටියක් නරඹනවා වාගෙ හැඟීමක්. සුරත් අප වෙසෙන උපමහද්වීපයේ වාසය කරන කාන්තාවන් දෙදෙනෙක්ගේ බොහෝ දුරට සමාන කතා දෙකක් පාදක කරගන්නවා. එකිනෙකාට වෙනස් අත්දැකීම් ඇති, වෙනස් පසුබිම් ඇති, දෙතැනක සිටින ඔවුන්ගේ දෛවය පුදුමාකාර සමාන හැරවුම් දෙකක් නිසා ඔවුන් දෙපල තල්ලු වෙන්නේ එකිනෙකට බොහෝ සමාන ඛේදාන්තයකටයි. කවර වෙනස්කම් තිබුණත් “ගැහැණියක් ” වීමේ ජීව විද්‍යාත්මක අහඹුව ඒ වෙනස්කම් අහෝසි කරයි. විශේෂයෙන්ම ඇය අප වෙසෙන උප මහද්වීපයට අයත් නම් ඇයගේ අභියෝගය ලියැවෙනුයේ ඇය මොලොව එළිය දකින මොහොතේමයි.
අතවර, දූෂණ හෝ ලිංගික හිංසනය යනු අප බොහෝ දෙනා පිටතින් දකින පටු නිර්නායක නොවන වග පැහැදිළි කරන්නේ සිද්දි සමුදායක්. “ප්‍රාණ පරිත්‍යාගය සහ සියදිවි හානිකරගැනීමේ එකම වෙනස ඒ දෙකට ලැබෙන මාධ්‍ය ආවරණය පමණි,” යන කියමන ඔබ අසා ඇති. මෙය ලිංගික හිංසනය හා ස්ත්‍රී දූෂණයටත් අදාලයි. දිනපතා ගෘහස්ථව හෝ පොදු ස්ථානවල සිදුවන “දූෂණය” නොයෙක් ලේබලවලින් සැර බාලකරනු ලැබ, සාමාන්‍යකරණය කිරීම සුලබයි. ඒවායින් ඇතිකරන ඇසට නොපෙනෙන තුවාල පහසුවෙන් අමතක කිරීම ඉතා පහසුයි. සෑම කාන්තාවක්ම පාහේ කවර හෝ “දූෂණයකට” පාත්රවී ඇතිවග නොරහසක්.
නිරතුරුවම යම් පිරිමියෙක්ගෙන්, රැකියා ස්ථානයේ විධායකයකුගෙන්, ස්වාමිපුරුෂයාගෙන්, බස් කොන්දොස්තර සහ බසයේ හිඟමන් යදින යාචකයෙක් දක්වා කවුරුන්ගෙන් හෝ පීඩාවට පත්වන ගැහැණිය සිටින රටක, ‘ඩුඕ’ දූෂණයේ මෙම විශාල වපසරිය ඉස්මතු කරන්නක්. දූෂණයක වින්දිතයෙක් වීම කෙසේ වෙතත්, ඒ පසුපස පැමිණෙන මාධ්‍යකරණය, සමාජ විනිශ්චය ආදිය විසින් වින්දිතයා සිය වරක් දූෂණයට ලක්කරයි. මේ පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව සාක්ෂි බහුලය. එවන් දැරියකගේ ඛේදනීය ඉරණමක නඩු වාර්තාව ඇසුරෙන් ප්‍රබන්ධයක් කොටස් වශයෙන් පළකරන ලද රටක , එම විශේෂාංගය උණු කැවුම් සේ “රේටිං” ලැබූ රටකට සුරත්ගේ ඩුඕ සාකච්ඡා කරනුයේ මේ බිහිසුණු අත්දැකීම්වලට ලොල්වෙන මිනිස් මනසයි. සාරා සහ සුරේෂ්ගේ “ප්‍රේමය” පුරුෂයාගේ ලිංගික ආධිපත්‍යය ගිලිහීමේ අනාරක්ෂිත බව ආදී සූක්ෂම මනෝ විශ්ලේෂණාත්මක විග්රහයන් තවත් එක් කතන්දරයක ස්වරූපයෙන් දැකීමෙන් නවකතාවට පසුබිම් වන සමාජ මනෝවිද්‍යාත්මක විවරණය අතුපසු වීමට ඉඩ ඇත.
අපරාධ පාදක කරගත් ප්‍රබන්ධ කලාවේ ” ස්ත්‍රී දූෂණ සංස්කෘතිය” පිරික්සන ලීසා ලෙවි විමසන්නේ “ඔබ ස්ත්‍රී දූෂණ පිළිබඳව ලියැවුණු ප්‍රබන්ධ කියවීමට ප්‍රිය කරනවාද? ඒ ඇයි?” යන ප්රශ්නයයි. ඒ අනුව පාඨකයා සිටින්නේ සුරේෂ් සමඟ විය හැකියි. ඒ අතරම පාඨකයා නැවත වීරයෙක් මෙන් නැඟී සටනට පිවිසෙන වින්දිතයා සමඟ සිටගන්නවාට සැකයක් නැහැ. “ඩුවෝ” යනු “දෙපලක්” යන අදහස වුවත් මේ දෙපල සුවහසක් නම් නොකරන කාන්තාවන්ගේ කතන්දරයයි. දූෂකයා පිරිමි පාඨකයාට සැබෑ ලොවේ සැරිසැරිය නොහැකි “ෆැන්ටසිය” නම්, නොබියව නැඟී සටන් කරන වින්දිතයා කාන්තා පාඨකයාගේ “ෆැන්ටසියයි.”
සමකාලීන ලාංකික දේශපාලනය ඇඟට නොදැනෙන්න නවකතාවට ගෙන එන ඩුඕ, මෙරට එක් තීරණාත්මක අවධියක වූ සංසිද්ධි සමූහයක් පසුබිමින් දිගහරියි. බුකර් ත්‍යාගයෙන් පිදුම් ලද “සෙවන් මූණ්ස් ඔෆ් මාලි අල්මේදා” එකී දේශපාලනය තම කෘතියට පාදක කරගත්තේ යම්සේද, සුරත්ද එකී බිහිසුණු සත්‍යය ඩුඕ ඔස්සේ හෙලි කරයි. නමුත් පාට කණ්ණාඩි ගලවා ඇත්ත ඇති සැටියෙන් දකින්නට කවුරු සූදානම්දැයි අපි නොදනිමු.
සංස්කෘත පර්දාවෙන් වසන්කර සඟවා ගන්නා නොතිත් ආශාවන් කවදත් නොබියව විවර කළ සුරත්, වඩාත් නිර්භය, පැසුණු නවකතාකරුවෙක් ලෙස කලඑළි බසින්නේ ඩුඕ හරහායි.