ශ්‍යාමා සමරසිංහ
දිණමිණ, විශේෂාංග 2025 අගෝස්තු 21 බ්‍රහස්පතින්දා
ඡායාරූප – වාසිත පටබැඳි

“සෙල්ෆි කියන්නෙ
ඔළුවට වෙඩි තියා ගන්න
පුහුණුවක් නේ ද ?”
මේ පැදි පෙළේ අයිතිකාරයා ඔහුයි. ඔහු කුසල් ධනංජය කුරුවිට ය. මේ තරුණ පැදි ගොතන්නා වෘත්තියෙන් නීතිඥ මහතෙකි. රහට ලියන්නෙකි. රසවතෙකි. “පෙමක් මනිනා මානයක්, අස්පර්ශනීයන් වෙත” යන කාව්‍ය ග්රන්ථයෝ ඔහු අතින් පෙරදා ලියන ලද කාව්‍ය සංග්‍රහයෝ ය. ඔහුගේ නවතම ග්‍රන්ථය “කිරුළුකෝලය” යි. මේ “කිරුළුකෝලය” ගැන එහි කතුවර කුසල් ධනංජය කුරුවිට සමඟ කළ සාකච්ඡා සටහනයි.
ඔබ කාව්‍ය නිර්මාණවලට යොමු වීමේ පසුබිම කුමක්ද ?
මම කාව්‍ය නිර්මාණවලට යොමු වුණේ ඉස්කෝලේ යන කාලෙදිමයි. විශේෂයෙන්ම උසස්පෙළ පන්තියේ ඉඳන් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි. 2016 මගේ පළමු නිර්මාණ සංග්‍රහය එළිදැක්වුණා. ඒක තමයි, “පෙමක් මනිනා මානයක්.” ඊළඟ දෙවැනි පොත තමයි, “අස්පර්ශනීයන් වෙත”. මේක ඉංග්‍රීසියටත් පරිවර්තනය කරල තියෙනවා ආචාර්ය විවිමරී වැන්ඩර්පූටන් විසින්. ඒවගේම මේක ඉන්දියන් ජාතිකයෙක් විසින් දමිළ භාෂාවටත් පරිවර්තනය කරලා තියෙනවා. 2025 දී මා කළ නිර්මාණය තමයි මේ “කිරුළුකෝලය”.

“කිරුළුකෝලය” යන්නෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද? මෙහි අරුත මොකක්ද ?
Crown shyness කියන ස්වභාවික සංසිද්ධිය. පළමුවෙන්ම කියන්න ඕනෑ මේ සිංහල වචනය මගේ වචනයක්. පාර දෙපස ඇති විශාල ගස් දෙකක අතු ඉහළදී ළං වෙලා තිබුණට එකකට එකක් ගෑවෙන්නේ නෑ. අතු වියන අතර ඉරි ඇඳලා වගේ ගෑවෙන්නේ නෑ. ඒක තමයි මම මෙයින් අදහස් කළේ. ඒ වගේම “කිරුළුකෝලය” කියලා කවි පංතියක් මෙහි ඇතුළත් වෙනවා.
ඇතැම් තුරුඅත්
අනිත් තුරු අතකින් නොඅල්ලා
ගෑවී නොගෑවී හිඳී
ඒකිනෙකා අසලින්
අප වගේම ඈත්ව සිටි
මාවතේ තුරු පෙළ
දෙසට අත පාමින්
ඈ කීය……..
සාමූහිකව ජීවත් වුවත්, අප එකිනෙකාට අනන්‍ය වූ පෞද්ගලිකත්වයක් යම් ආකාරයකින් පවත්වාගෙන යන ආකාරය පෙන්වාදීමට තමයි මම එවන් ආකාරයේ සංකේතයක් පාවිච්චි කළේ.
මේක වෙනස්ම ආකාරයේ කෘතියක්. මෙහි සැකැස්ම වගේම ආකෘතියත් වෙනස් බවක් දකිනවා. මේ වෙනස් වූ අනන්‍යතා රැක ගන්න ඔබ යෙදූ උපක්‍රම මොනවාද ?
මේ කෘතිය සමාජ මාධ්‍ය තුළ සෑහෙන විවේචනවලට බඳුන් වෙනවා. ඊට ප්‍රධානම හේතුව තමයි ආකෘතිමය ලක්ෂණ. ඇත්තටම මේකෙ තියෙන එක ආකෘතියක්වත් අලුතෙන් මම හොයාගත් ඒවා නෙවෙයි. ඒවා ඉතාමත් පැරණි ආකෘති. ලංකාවට ඒවා අලුත් වුණාට මේ ආකෘති ඉතාමත් පැරණි ඒවා. මහගම සේකරගේ හෙට ඉරක් පායයි. මේ වගේ ආකෘති වෙනස් කරලා තියෙනවා සෑහෙන්න. අද ඒවා බැලුවොත් කෙනෙක් අහන්න පුළුවන් මේ මේවා මහගමසේකරගෙ ඒවද කියලා.මේ කෘතියේ මම ආකෘති කිහිපයක්ම පාවිච්චි කරලා තියෙනවා. නිසදැස් ආකෘතිය පාවිච්චි කළා. ඊට අමතරම පැබ්ලෝ නෙරුඩා අනුගමනය කරමින් ‘කාව්‍යමය පැන’ විදිහේ ආකෘතියක් පාවිච්චි කරලා තියෙනවා. ඒවාට ඇතමුන් ‘ඇපෝරිසම්’ කියලත් කියනවා. ඒ වගේම ගද්‍ය කාව්‍ය පාවිච්චි කළා. ඒක සිංහල සාහිත්‍යයට අලුත් දෙයක් නෙවෙයි.
ඔබට එල්ලවන සාහිත්‍යමය විවේචනයන්ට දෙන පිළිතුර මොකක්ද ?
ආකෘතිය, මෙහි ඇති කෙටි ස්වභාවය. මේවා සිංහල සාහිත්‍යයට අලුත් ඒවා කියලා ඔවුන් හඳුන්වනවා. ඒත් මේවා කිසිසේත්ම අලුත් ඒවා නෙවෙයි. කාටහරි විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේවා කරුණු (facts). අපි කැමැති වුණත්, අකමැති වුණත් මේවා තියෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. උදාහරණයක් විදිහට හයිකු ශානර තියෙනවා. ඒවා අපේ ශානරත් එක්ක කොහෙත්ම ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා ඒ ඒ සංස්කෘතිය තුළ තියෙන ශානරයන්. සාහිත්‍යය කියලා කියන්නේ විශේෂයෙන්ම විවිධ සංස්කෘතීන් උරාගන්නා, විවිධ සංස්කෘතීන්ගෙන් අපේ සංස්කෘතිය පෝෂණය කරගන්න, අපේ සාහිත්‍යය පෝෂණය කර ගන්නා එක්තරා ආකෘතියක්. එතකොට සාහිත්‍යය තියෙන්නේ හැමවෙලේම බැහැර කරන්න නෙවෙයි, පෝෂණයක් ලබා ගන්නයි.
ඔබ මේ කවි පොත කරන්නේ ඇයි ?
බොහෝ දෙනා අද කවි, කෙටිකතා, ඇතුළු බොහෝ දේවල් කරන්නේ සමාජමාධ්‍ය තුළයි. ඒ වගේම නොයෙක් වෙබ් අඩවිවලටත් ලියනවා. ඒ වගේම සමහරු පොත් ප්‍රකාශයට පත් කරනවා. මම සමාජ මාධ්‍යයේ නැහැ. ඒ වගේම මට ෆේස්බුක් ගිණුමකුත් නැහැ. ඒ වගේම තවමත් පොත් කියවන පාඨක පිරිසක් ලංකාවේ ඉන්නවා. පොත සමඟ ගනුදෙනු කරන විදිහයි, සමාජ මාධ්‍ය තුළ ගනුදෙනු කරන විදිහයි දෙකක්. සමාජ මාධ්‍ය තුළ කවියක් සංසරණය වුණාට පස්සේ, ඒක හරියට දිය සුළියකට අහු වුණා වගෙයි. එකවර විශාල වටයක් ගිහින් සම්පූර්ණ ශූන්යත්වයකට යනවා එකවර. පුළුවන් තරම් එකපාරට සංසරණය වෙලා එක පාරටම නැති වෙලා යනවා. හැබැයි පොත් එහෙම වෙන්නේ නෑ. පොත් හැමදාමත් තියෙනවා. ඒ පොතක් එක්ක මනුස්සයෙක් මුළු ජීවිත කාලයම ගනුදෙනු කරනවා. අපි කුඩා කාලේ පටන් ගනුදෙනු කළ සාහිත්‍යකරුවෝ සහ ඔවුන්ගේ නිර්මාණ අපි ළඟ තියාගන්නවා. පරිහරණය කරනවා. හුවමාරු කර ගන්නවා. ඒක වෙනම සංස්කෘතියක්. ඒ නිසයි මමත් මෙය පොතක් විදිහට එළි දක්වන්න තීරණය කළේ.
ඔබේ “කිරුළුකෝලය” දුටු කෙනෙකුට හිතන්න පුළුවන් මේක ඉතා පහසුවෙන් කළ දෙයක් කියලා ?
පැරණි සංදේශ කාව්‍ය ලියද්දී ඒවා ඉතා සුමට තත්බව පාවිච්චි කරලා ලියන කාව්‍ය ආකෘතියක්. ඒක එක්තරා ආකාරයකින් අවශ්‍යතාව සහ ඒ යුගයේ ප්‍රකාශන විදිහ. නිර්මාණ කියන එක යුගයට, අපේ වෘත්තීන්වලට සාපේක්ෂ වෙනවා. එදා ගැල් කර්මාන්තයේ යෙදුණ අයට රැකියාවෙදී ආ පීඩනය, මහන්සිය, වටපිටාව එක්ක එය ප්රකාශනය කළ විදිහක් තියෙනවා. අද අපි ජීවත්වෙන්නේ ඉතාමත් වෙනස් තාක්ෂණය හා නොයෙකුත් දේවලින් කැලඹුණු යුගයක. අපට නිර්මාණ කියන එක තීරණය වෙන්නෙ තාක්ෂණ පසුබිම මුල්කරගෙන. එතකොට මේ තාක්ෂණ පසුබිමේ දේවල් ප්‍රකාශ කරන්න පැරණි භාෂාවත් අපට පාවිච්චි කරන්න බැරිකමක් නෑ. හැබැයි අපට ඒකම කරන්න ඕනෙ කියලා නියමයක් නෑ. අනුරාධ මහසිංහ කියලා කවියෙක් ඉන්නවා. එයා ‘විජ්ජු’ කියලා කාව්‍ය සංග්‍රහයක් කරනවා. එයා ලියලා තියෙන්නේ පැරැණි කාව්‍ය ආකෘති සහ කාව්‍ය භාෂාවකිිින්. හැබැයි, ඉතාම නූතන අත්දැකීමක් ප්‍රකාශ කරනවා. හැබැයි ඒක එහෙම කරන්න ඕනමයි කියලා අනිවාර්යතාවක් නෑ. ඒ නිසා නිර්මාණ කියන්නේ අනිවාර්ය දේ ප්‍රශ්න කරන දෙයක්. අනිවාර්යතාවන්වලට අපි අහුවෙන්න අවශ්‍යතාවක් නෑ. අවුරුදු 5ක් තිස්සේ මා ලියූ කවි එකතුවක් තමයි මේ. ඇතැම් ඒවා මගේ පෞද්ගලික අත්දැකීම්. ඒ වගේම නොයෙකුත් ආකාරවලින් ආපු අත්දැකීම් තමයි තියෙන්නේ. මම බොහෝ කවි පාවිච්චි කළා. කෙටි කවි, ‘වයිරල් වෙන්න අපි වයිරස්ද’ කියලා වගේ. මේකට ප්රතිවිරෝධය පාන්න මම බොහෝ කවි පාච්ච්චි කළා. එහි උත්ප්රාසය තමයි මට තවමත් ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ. සාත්‍රෙගේ නෝ එක්සිට් (No Exit) නාට්‍ය වගෙයි. මේ අපායෙන් ගැලවෙන්න විදිහක් නෑ.
“ලාච්චුව අවුස්සන විට කොණ්ඩ කටුවක් හිතේ ඇනුණා” ඉතිහාසය අවුස්සන විට හිත රිදුණු දෙයක් විය හැකියි..?
මගේ කොණ්ඩ කට්ට නෙවෙයි අනෙක් අයගේ කොණ්ඩ කට්ට. කාව්‍යයකින් අපි හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ, කාව්‍ය කියවන කෙනාට එය සමීප කරගන්න පුළුවන් විදිහක්. ගනුදෙනු කරන විදිහක් විවෘත කරලා දෙන විදිහක්. එහෙම නැතුව එයා රාමුගත කරන දෙයක් නෙවෙයි. මම හිතන දේ අනෙක් කෙනා මත පටවන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම කාව්‍ය කියන්නේ තමන්ව ප්‍රශ්න කරන දෙයක්. ඒ වගේම අපි හොඳ යැයි හඳුනා ගන්නා ඕනම පොතකින් සිදු කරන්නේ අපි දැනටමත් දන්නා දේ ඒ පොත තුළින් තහවුරු කරන එක නෙවෙයි. ඒක තමන්ගේ ඊගෝ එක වර්ධනය කර ගැනීමක්. කාව්‍ය සහ කලා නිර්මාණ තියෙන්නේ තමන්ගේ ඊගෝ එක මඬින්න සහ ප්රතිවිරෝධය දක්වන්නයි. සමාජ මාධ්‍ය යුගයේ ඊගෝ තීව්ර කරමින් ඉන්නවා. තමන්ව ප්‍රවර්ධනය කර ගන්නා යුගයක් මේක. මේ සෙල්ලම විවේචනය කිරීම මේ පොතේ මූලික අරමුණයි.
ශ්‍යාමා සමරසිංහ
දිණමිණ, විශේෂාංග 2025 අගෝස්තු 21 බ්‍රහස්පතින්දා