අපරැක්කේ සිරිසුධම්ම හිමි විසින් රචිත “මොහොතින් මොහොත සිඹිමි” නම් කෙටි කාව්‍ය සංග්‍රහ (සරසවි ප්රකාශනයකි) ඇසුරු කරමින් ලියූ මෙනෙහෙි කිරීමකි.
වැඩ ඇරී ගෙදර එන්න කෙටි මඟ වෙනුවට ඇතැම් විට මුහුදු වෙරළ ඇති දිගු මඟ ගනිමි. සෑම දිනක ම මුහුදේ වර්ණය විවිධය. එය මේ වර්ණයයි කියනු මිස වර්ණාවලියේ කුමන වර්ණය දැයි කිවිය නොහැකි ය. අපගේ වචනවල සීමාව නම් වෙරළ තීරයේ රැළි නගනු පෙනේ. මේ රැළි උත්සහ කරන්නේ යම් අරුතක්, යම් පබැදුමක්, යම් වැටහීමක් සිය අත්වලින් උදුරගන්න ය. කාව්‍ය යනුත් මෙවැනි රැළි ගසනවා වැනි අවසනක් නැති වෙහෙසකාරී නමුත් ධෛර්ය සම්පන්න අනවරත “ක්‍රියාවකි.” මම එය ක්‍රියාවක් ලෙස හඳුන්වන්නේ කාව්‍යක වැදගත් ම දෙය වන්නේ එහි වචන නොවන නිසා ය. කාව්‍ය යනු වටහා ගැනීමට ගන්නා ප්රයත්නයයි. කවියක් සමඟ ගනුදෙනු කරනවා යනු හුදෙක් එය කියවීම පමණක් නොව, ඒ අනුව ඒ පිළිබඳ සංවාද කිරීම, ඒ පිළිබඳ ලිවීම, එය ගායනා කිරීම වැනි නොයෙකුත් ක්‍රියාවන් ය. කවියක් වචනවලට සහ එහි ආකෘතියට ලඝු කිරීම යනු කවි පළමු වරට ඉගෙන ගන්නා අයගේ වැඩකි. ඒ පිළිබඳ යම් පළපුරුද්දක් ඇති අය උත්සුක වන්නේ එහි අර්ථය උකහා ගැනීමේ ක්‍රියාවල නිරත වීම ය. කාව්‍යක අර්ථය යනු හුදෙක් අකර්මකව කියවන්නෙකුට ළගා කර ගත හැකි දෙයකට වඩා ඒ සමඟ දඟලමින් ලබා ගත හැකි දෙයකි.
වැසුණු දොර අස්සෙන්
එළියට එන්න දඟලන
ලාම්පු එළි
මේ නිසා ම කාව්‍ය යනු එක් කියවීමකින් අවසන් වන දෙයක් නොවේ. එයට නැවත නැවත කියවීම අවශ්‍යය. කල්ගතවී පසුව කියවීම අවශ්‍ය ය. හරියට එක ම මඟ ඇවිදින්නා සේ එකී කවි මගේ නැවත නැවත යාය යුතු ය. අපට සැබෑ ලෙස වෙනස් දෙයක් දැකිය හැක්කේ එවිට ය. වෙනස් දෙයක් දකිනවා යනු අලුත් අලුත් අද්දැකීම් සොයා යෑමට වඩා සුපුරුදු බව තුළ මතුවන වෙනස දැකීම ය. තමන්ගේ සුපුරුදු ලෝකය තුළ ඇති අපූරු දෙය නොදැක සමහර විට අපට මිය ඇදෙන්නට සිදු වනු ඇත. අලුත් දේ දකින්න එක ම මඟ හැම දින ම ඇවිදින්න.
ඉඳ හිට
ගමේ යන කොට
අවසන් අසුන ළඟ
තාමත් මං බලනවා
ඒ නම් දෙක
කියවීම එක වරම පසක් වේ නම් එ් කියවීම ඔබට නොතේරුණා වීමට ලොකු අවස්ථාවක් ඇත. නැවත කියවන්න. පසුව කියවන්න. විරාමයක් තබා නැවත කියවූ විට අලුත් දේ දැකිය හැකි ය. සමහර කියවීම් අප දැනටමත් දන්නා දේ අපට නැවත තහවුරු කරයි. එයින් වන්නේ අපේ ඊගෝව වැඩීම මිස, අපට නව මඟ හමුවීම නොවේ. හොඳ කියවීම් අපව වෙහෙසවයි, බොහෝ විට එය අපව කම්මැලි නොකරයි නම් අපව පුදුම කළ හැකි යමක් එහි අඩංගු නොවීමට ලොකු අවස්ථාවක් ඇත. හොඳ කියවීම් අපව වෙහෙසෙ කර, ඇතැම් විට රිදවා පසුව අපූූරූ සුරත් ඵල අපට පමා වී ලබා දේ.
කොහොඹ
ඇට්ටේරියා කොළ
වැලිමලුව සහ ඉදල
පවස විඩාව
නිරන්තර නිරතවීම විසින් සුපුරුදු භාවය නමැති මහ කලු ගල පලා එය යටින් ගලනා දිය කද දක්වනු ඇත. ඒ නිරතවීමට ප්‍රේමයක් ඇවැසිය. ප්‍රේමය යනු මෙකී නිරතවීමට කියන පර්යාය පදයකි. නමුත් මෙකී නිරතවීම මෙකී ප්‍රේමය හුදෙක් අපගේ පෞද්ගලික අවකාශ තුළ සිදු වන නැත්නම් ආහාර ජීර්ණය වගේ අප තුළ සිදු වන්නක් නොව, අප අනෙකා සමඟ, ලෝකය සමඟ සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට උත්සහ කිරීමේ ප්රයාත්නයකි.
බටිති කුරුල්ලනි
කෑගහුවා මදෑ
විරාමයක්
ඇවැසිය නුඹටත්
අපරැක්කේ සිරිසුධම්ම හිමි විසින් රචිත “මොහොතින් මොහොත සිඹිමි” නම් කෙටි කාව්‍ය සංග්‍රහයේ එන කෙටි කාව්‍ය මෙහිලා ඇසුරු කර ඇත.
කුසල් කුරුවිට