Note - Sarasavi Blog is currently under construction. We’re working hard to bring you exciting content.

අලුත් කවි පොත්: අලුත් කවි මං! තරින්ද්‍ර ගලහේන හා ළහිරු කාරුණාත්නගේ නවත ම කාව්‍ය සංග්‍රහයන් අපට පෙන්වන නව කාව්‍ය මාර්ගයන්

බොං ජුං හෝගේ නවත ම Mickey 17 චිත්‍රපටය ඔහුගේ පෙර සිනමා භාවිතයේ දී දක්වට ලැබුණා මෙන් අප හමුවට ගෙනෙන්නේ නව සත්‍යයන් ය. එහි මනුෂ්‍ය ශරීර පොටෝ කොපි ගසන යන්ත්‍රයක් ඇත. ලාබ පත්තර අච්චු ගහන විදියට මිනිසුන් අච්චු ගසනා යාන්ත්‍රයකි එය.  මේ මනුෂ්‍ය පොටෝ කොපි මැෂිම තනා ඇත්තේ (වචනාර්ථයෙන් ම) මැරි මැරී වැඩ කිරීමට හැකි වන ලෙස ය. මිකීගේ කොන්ත්‍රාත්තුවට අනුව ඔහුට පැවරෙන්නේ මරණය ගෙන එන ඉතා භයානක රාජකාරී වන අතර ඔහු මියගිය පසු යටකී මැෂිමෙන් ඔහුගේ ශරීරය නැවත නිෂ්පාදනය කරනු ලැබේ. නිදසුනක් ලෙස ඔහුට පැවරෙන එක කාර්යයක් වන්නේ වෙනත් ලොවක සිටින ඉතා ම භයානක සතුන් දඩයම් කරගෙන ඒම ය. හාස්‍ය ජනක ලෙස එම සතුන් ඔහුව අනුභව නොකරයි. එවිට ‘මිකී අසන්නේ ඇයි මාව කන්න තරම්වත් උඹලට මාව වැඩක් නැද්ද? මේ හොඳ මස් මාව කාපන්’ යනුවෙනි. ඔබට පැහැදිලිව ම පෙනෙන පරිදි අප දැන් සිටින්නේ සූරාකෑම පිළිබඳ සාම්ප්‍රදායික කථිකාව තුළ නොවේ. මා ඔබේ සිනමා රස වින්දනයට බාදා නොකර එතනින් නතර වෙන්නම්. මේ කාව්‍ය ගැන කතාව තුළට මා මේ චිත්‍රපටය ගෙන ආවේ ලෝකයේ අද කලා නිර්මාණ ගමන් ගන්නා යම් දිශාවක් පෙන්වා දීමට ය. මේ දිශාන්තියේ ගමන් ගන්නා විසාකේස (මනෙල්) වැනි සිනමා කරුවන්, ප්‍රභාත් ජයසිංහ, රංගන ආරියදාස වැනි කෙටි කථාකරුවන් (මගහැරුණු දූපත් කෙටි කතා සංග්‍රහයේ පාලම උඩ සහ පාලම යට) අපට ඇත.  

මේ සාහිත්‍ය සහ කලා නිර්මාණවල තියෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන් සාම්ප්‍රදායික සතුරාට පහර දෙන්න යන්නේ නැත. නිදසුනක් විදියට සාම්ප්‍රදායක සූරා කන හාම්පුතා, සාම්ප්‍රදායික ජාතිවාදියා හෝ අගම්වාදියා, සාම්ප්‍රදායික මර්දනකාරී ආණ්ඩු, කුලය පිළිබඳ කථිකා වැනි පහසුවෙන් පහරදිය හැකි සතුරන් සමඟ ඔවුන් පොර බදන්නට නොයයි. සමහර විට එවැනි සතුරන් මේ නිර්මාණවල සිටින්නේ වෙනස් ස්වරූපවලින් ය. ඔවුන් කිසිසේත් ම ප්‍රධාන ඉලක්ක නොවේ. ප්‍රධාන ඉලක්ක වන්නේ ටයිකොට් දාන මානව හිමිකම් ක්‍රියාකාරීන්, පොත් ප්‍රකාශකයන්, ග්‍රන්ථ කතෘවරු, විමුක්ති දේශපාලකයන්, බලපෑම් කණ්ඩායම්, පරණ පන්නයේ ධනවාදියා වෙනුවට නූතන ව්‍යවසායකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාදරයන් ය. මේ නිර්මාණවල සිටින හතුරන් පහර දීමට ලේසි ප්‍රතිරූප නොවේ. නිදසුනක් ලෙස මනෙල් චිත්‍රපටයේ සතුරා වන්නේ දෙමළ ප්‍රාදේශීය දේශපාලකයෙක් ය. සිංහල හමුදාව යොදවන්නේ සිංහල ආණ්ඩුව නොව දෙමළ දේශපාලකයා ම ය. මිකී-17වල හාම්පුතා සූරා කනවාට වඩා තමන්ව සූරා කන්නේ සූරාකෑමට ලක්වෙන තැනැත්තා ම ය.  මෙවැනි නිර්මාණකරුවන් කරන්නේ සාම්ප්‍රදායිකව යහපත් සහ අයහපත් යැයි හඳුන්වන දෙක ම පිළිබඳ විවේචනීය වීම තුළින් නව පර්යායකට මග කීම ය; සාම්ප්‍රදායික දෙබෙදුම් බිඳ නව කථිකාවක් ඇරඹීම ය. මේ සඳහා ඔවුන් නව සත්‍යයන් බිහි කිරීමේ කාර්යයක නිරතවීමට සිදුවෙයි. මේ නව සත්‍ය යනු පවතින කථිකාව තුළින් වචනයට නැගිය නොහැකි දෙයයි. ඒ සඳහා අලුත් භාෂාවක්, අලුත් සංකල්ප රූප, අලුත් රූප රාමු, අලුත් ආකෘති අවශ්‍යය ය. ඔවුන්ගේ නිර්මාණවල සුන්දරත්වය පැන නගින්නේ එහි ආකෘතිය හෝ මාධ්‍යයට වඩා එමඟින් පවසන සත්‍ය තුළින් ම ය. මේ සත්‍ය සුන්දර වන්නේ එය අප මින් පෙර නොදුටු සත්‍යයක් වීම නිසයි. අඩු ම තරමේ එවැනි සත්‍යයක් තිබෙනවා දැයි අපට අදහසක් වත් නැත. එවැනි සත්‍යය දැකීමට පවතින කථිකාව ඉඩ නොදෙන බැවින් ඔවුන්ට අලුතින් කථිකාවක් තැනිය යුතු ද වේ.  මේ නිසා මේ නිර්මාණවල භාෂාව, රූප රාමු, සංකල්ප රූප අලංකාරික අත්හළ ඒ්වා ය. එවැනි දේ යම් තැනක තිබුණහොත් ඒවා පවතින්නේ බොහෝවිට උපහාසය සඳහා ය.

අනෙක් අතට මෙවැනි කලා නිර්මාණවල ඉතිහාසයක් ද ඇත. කෆ්කා, ඇල්ඩස් හක්ස්ලි (Brave new world) වැනි පසුගිය සිය වසේ නිර්මාණකරුවන් යම් ආකාරයකින් වැළඳ ගත්තේ මෙවැනි මඟකි. හක්ස්ලි සහ ඔවෙල්ගේ නවකථාවල වෙනස මඟින් මා මේ කියන දෙය වඩාත් හොඳින් වටහා ගත හැකිය. ඔවෙල් මර්දනකාරී ආණ්ඩු සහ ඒවායේ ඍජු මර්දනකාරී යාන්ත්‍රණය අප හමුවට ගෙන ඒන විට හක්ස්ලි කරන්නේ ඔහුගේ කාලයේ මිනිසුන් එතරම් නොදැන සිටි මෘදු බලය ගැන ලිවීම ය.

මෙය යම් ආකාරයකින් සිංහල කථිකාවට අලුත් දෙයකි. එහෙත් ම මෙවැනි ලක්ෂණ ඇති සහ ඇතැම් විට මේ මඟට අලුත් ගුණ එක් කරන අවස්ථා නැතුවා නොවේ. නිදසුනක් ලෙස ‘මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝඛ ජනක’ ද කාව්‍ය සංග්‍රහයෙන් තරින්ද ගලහේන නමැති කවියා අප වෙත ගෙනන කාව්‍යමය ලෝකය මා විස්තර කරන්නේ ‘ඩිජිටල් ගුහා සිතුවම්’ ලෙස ය.  තරින්ද සමාජ මාධ්‍යයේ කවි ලියයි. නමුත් ඔහු සමාජ මාධ්‍යයේ ගත කරන්නේ යම් ආකාරයක ගුහාමය ආකාරයකින් ය. ඔහුගේ භාවිතාව තුළ ස්වරූපරාගය දක්නට නොලැබේ. ඔහු ඔහුගේ හඬින් වශීවූවෙකු නොවේ, ඔහු සමාජ මාධ්‍යයේ පුරසාරම් දොඩන්නට හෝ හම්බල්-බ්‍රැගින් කරන්නට යන්නේ නැත. ඒ වෙනුවට ඔහුගේ සමාජ මාධ්‍ය භාවිතාව තුළ ඇත්තේ ගුහාවක වාසය කරනවා වැනි පැවැත්මකි. මේ නිසා ඔහුගේ කාව්‍ය ‘ ඩිජිටල් ගුහා සිතුවම්’ යැයි මා හඳුන්වමි. එපමණක් නොව, බිත්ති හතරින් කොටු වී, ඩිජිටල් තිරයකින් ලෝකය බලන නූතන මිනිසාට, ඔහුගේ ජීවිතය පෙන්වීමට ගන්නා තැතක් මේ සිතුවම් තුළ ඇත. මේ  කවිවල නැවුම් මඟක් ඇත. එය මා කලින් කීවා සේ සුන්දර භාෂාවකින් සරසන ලද්දක් නොවේ. ඔහු නූතන මිනිසාගේ වේදනාව භාෂාවට හරවන්නේ වේදනාත්මක බසකින් ය. මා කියන දෙය වටහාදිය හැක්කේ ඔහුගේ කවියක් කියවීමට සැලැස්සවීමෙන් ය.  

නිහඬ බව

පර්වතයක් මෙන් හිස මත තෙර පෙන

මහා නිහඬ බවකි

විශාල ශාලාවක සෙනග

එක්වරම නිහඬවීමකි

කලකට පසු අහම්බෙන් හමුවී

වචන සොයාගත නොහැකිව

හිස් බැල්මෙන් බලා හිඳුමකි

ඇඬීමට අවැසි සිතුවිලිවලට දෑස් නොමැත

කෑගැසීමට අවැසි සිතුවිලිවලට මුවක් නොමැත

මහා අමනුෂ්‍ය නිහඬ බවකි මෙය

ඔබ තබා ගිය

ගී කියන ඔබේ අනුරුව ද

දැන් නිහඬ ය

මගේ නුරුස්සන ඇස් මඟහරිමින්

ඈත බලාගෙනය

කාමරයේ කොනක යෝගයෙක්

වියරුවෙන්

පොත් පත් විසිකරමින් ද

පුටු මේස පොළවේ ගසමින් ද

කතිර මැස්මෙන් මසා දැසූ මුව

විවර කර ගැනීමට වෙර දරයි

අවරදි අහසින් මතු වූ කළු කුහරයක්

සියලු දෑ ගිලගනිමින් සිටියි

පෑන් තුඩගින් බලෙන් එළියට පනින අකුරු

කැබලිතිවලට බිඳී කොළයට වැටෙයි

මේ අතර මගෙ හිතේ ලාබාල කොලුවෙක්

අඩවන් දොරෙන් එන අඩි හඬක් වෙනුවෙන්

අඩවන් දොරෙන් එන අඩි හඬක් වෙනුවෙන්a

තවමක් බලා හිදියි

-තරින්ද්‍ර ගලහේන

මෙවැනි කවි තරින්ද්‍රට පෙර යුගයේ කවියෙක් විසින් ලියනු ලැබුවොත් එය බොහෝ විට සමාන විය හැක්කේ අජිත් තිලකසේනට, ලාල් හෑගොඩට ය. නමුත් මේ කවියන් මේ යුගයේ ඩිජිටල් මාධ්‍යයේ සැරිසරන ස්වරූපරාගී, ස්වයංවිනාශකාරී සහ ස්වයං සූරාකෑමක යෙදෙමින් විශාල තරඟයක යෙදෙන්න බල කෙරුණ තරුණ ජීවිතය ගැන සිතා තිබුණා දැයි මට ඇත්තේ සංශයකි.

ඒ අතරතුර ළහිරු කරුණාරත්නගේ නවත ම කාව්‍ය සංග්‍රහය වන ‘සිඳු සිඳුණු සිදුවීම්’ කියවීමට ලැබිණ. ළහිරු මා පෙරකී මඟ ඍජුව වැළඳගත් කවියෙක් නොවුණත් ඔහුගේ කාව්‍ය තුළ ඒවැනි කාව්‍ය දක්නට ලැබේ.

මෙකව බලන්න:

31. සටනක ඇරඹුම

සටන් විරාමය

නිමයි

ඉතින් සතුරනි

යළිත් අප

සටන් ඇරඹිය යුතුයි

අප සටන් කළ

යුද බිම පුරා

පොඩි පඳුරු පිරී ඇති බව

ඒ පඳුරුවල මල් පිපී ඇති බව

නිරීක්ෂණ යානා කියයි

කඳවුරටත් ටික ටික පෙනෙයි

ඔව් සතුරනි

හෙට අප

පළමුව

මල් සමඟ

සටන් කළ යුතුයි!

මෙහි අපට හමුවන සතුරන් අප පෙර දැන සිටි සතුරන් විශේෂයක් නොවේ. යුද්දයෙන් තැලෙන්නේ කිසිවක් නොදන්නා ඊට කිසි සම්බන්ධයක් නැති අහිංසකයන් වැනි පරණ කථාවක් නොවේ මෙයින් කියැවෙන්නේ. මෙයින් අපට අනාවරණය කරන්නේ පැරණි සතුරු-මිතුරු දෙබෙදුම වෙනුවට නව පර්යායක් ගැන ය.

මේ කවිය බලන්න:

27. යෝධයෙක් ගොඩවදියි

යෝධයෙක් ගොඩවදියි මා සිතට

කොහේදෝ සිට

නොසිතනා මොහොතක

තබමින් යෝධ පියවර

සොයයි ඔහු යම් දෙයක් මා හද

වීසි කර යෝධ අතපය

අවුස්සයි හැම තැන

සීසීකඩ කරයි

අසුවනා සැම දෙය

නොමැති හැඩයකි

ඔහු නොදන්නා පෙදෙසක් එහි

විසල් දෙයක් නම්

සොයන්නේ ඔහු

දැනටමත් හමු වී තිබිය යුතු ය

අවුල් කර

කඩා බිඳ

සෑම දෙය

ඔහු සොයන්නේ කුමක් ද?

මා නොදන්නා පොඩි දෙයක් ද?

යෝධයා මා තුළ සොයන මා නොදන්නා පොඩි දෙය කුමක් ද? ඇතැම් විට මේ යෝධයා වන්නේ මා තුළ තිබෙනවා යැයි කියන මේ මා නොදන්නා පොඩි දෙය ම වෙන්නත් පුළුවන. මේ දෙය කොතරම් හුරුපුරුදු දෙයක් ද කියනවා නම් එය අපට නොපෙන තරම් දෙයක් විය හැකි ය. සමහර විට අපට නෙපෙනෙන්නේ අප හොඳින් ම දන්නා දේ ය. ඒ දේවල්වලට අප සමඟ ක්‍රියාත්මක විය හැක්කේ ද මේ නොපෙනී යන බව නිසා ය.

-කුසල් කුරුවිට

Blog article by

Share on

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Categories