සසංක පෙරේරා කවියෙක් ලෙස අප්‍රකට වුවත් මානව විද්‍යාඥයෙක් ලෙස ලෝ ප්‍රකට ය. මෑතක දී ඔහුට ඉන්දියාවේ දකුණු ආසියාතික විශ්වි විද්‍යාලයෙන් (SAU) ඉල්ලා අස්වීමට සිදු වීම විශ්ව විද්‍යාලය යනු කුමක් ද? පර්යේෂකයන්ගේ නිදහස යනු කුමක් ද යන්න සිතීමට බල කරන සිදුවීම් ය. එහෙත් මේ සටහන ඔහුගේ කාව්‍ය කියවන විට මට නිරීක්ෂණය වූ දේවල් ගැන ය.
‘සොයමින් අදිසි මොහොතක්’ කෘතියේ කාව්‍ය කියවීමේ මගේ අභිප්‍රේරණය එන්නේ ඔහු ද මා මෙන් කෙටි කවිවල දක්වන ඇල්ම නිසා වෙන් ය. සසංක ඉතා ම සරල බසකනින්, සරල අද්දැකීම් ගැන ලියන කවියෙකි. ඔහු කවිය පණිඩිතමානී භාෂාවකින් වලදැමීමට තැත් නොකරයි. මං හිතන විදියට මේ කාව්‍ය පැනෙන්නේ ඔහු කරන සංචාරයන් අතර තුර දකින, අසන, හඟින නොයෙකු සංසිද්ධි පිළිබඳ ඔහුගේ අවලෝකනයන් ලෙස ය. හැම කවියක් ම අවසානයේ ඔහු ඒ වන විට ජීවත් වූ ස්ථානය පිළිබඳ සඳහනක් ඇත. ඒ බොහෝ විට ඒ ඔහු කාලයක් ජීවත් වූ ඉන්දියාවේ නොයෙකුත් නගරවල නම් ය.
මේ කවිවලින් අපට කාව්‍ය ගැන වැදගත් අදහසක් තේරූම්ගත හැකි ය. කාව්‍ය යනු අප අපට ඉතා ම නුපුරුදු නැත්නම් අපට ගෘහය නොවන තැනක ජීවත් වන විට අපට ගෘහයක් සපයන දෙයකි. කාව්‍ය යනු ගොඩනැංවීමක් මෙන් ම ගොඩනැගිල්ලකි. එය අපට එය තුළ ජීවත් වීමට අවස්ථාව ලබා දෙයි. මේ කවිය බලන්න:
පැදි ගී සළුව සෙවණේ
තනි වී ඇති බැවින්
අප ලොව දෙතැනක
සදාචාරයේ බොල් පිළිවෙත් මැද,
අගුළු ලා අපේ සිතුවිලි
යෙදෙමු අප රමණයේ
වදන් සහසක් සමගින්
අප ගැන තෙපුලන
සැඟවී
පැදි ගි සළුව සෙවණේ
නව දිල්ලිය, 27 අගොස්තු 2022
පිටුව-25
ලෝකයේ දෙතැනක සිටිමින් ආදරය කරන දෙදෙනෙකුට ඔවුන්ගේ වේදනාබර පැවැත්මේ බර සමනය කරගැනීමේ මාර්ගයක් කවිය විසින් සපයයි. කවිය විසින් සපයන ගෘහය ඔවුන්ගේ කාව්‍යමය රමණයට අවකාශය සපයයි. ඔන්ලයින් සෙක්ස් කරන නව පරම්පරාවට මේ කාව්‍යමය රමණය කුමක් දැයි වැටහේදැයි නොදනිමි. ඔන්ලයින් ආදරය, ඔන්ලයින් සෙක්ස්, ඔන්ලයින් සංවාදන, ඔන්ලයින් අධ්‍යාපනය මේ සියල්ල ම ඇත්තේ ශරීරිය පිළිබඳ කථිකාවට එරෙහිව ය. සමාජ මාධ්‍යවල හැලහැප්පෙන්නේ ශරීර නැති අදහස් ය; ශරීර නැති ආදරයන් ය. ශරීර නැති අධ්‍යාපනයක් ය. නමුත් කාව්‍ය යනු තවමත් ශරීරිකව මූර්තිමත්වන embodied දෙයකි.
සසංකගේ කාව්‍ය තුළ තැනින් තැන මේ disembodied ජීවිතය පිළිබද විවේචන ඇත. මේ කවිය බලන්න:
තනිකම
දැනෙන්නැද්ද තනිකමක්
අතරමං වන කල
හිස් වචන
ඩිජිටල් පින්තූර
ලොකු පම්පෝරි
තොරොම්බල් කරත්ත
මොළසුන් වියතුන්
අතර?
කොළඹ, 2021
පිටුව-81
ලංකාවේ පමණක් නොව, හාස්‍ය ජනක ලෙස, බොහෝ රටවල වියතුන් දැන් සිටින්නේ සමාජ මාධ්‍යවල ය. කලකට පෙර ඔවුන්ට පැවති විවේචනය වූයේ ඔවුන් සමාජයට ඉහළින් සිටින බව ය. නමුත් දැන් ඔවුන් සිටින්නේ සමාජයෙන් තනිකර ම බැහැර සමාජ මාධ්‍ය අවතාර ලෙස ය. අද අප සිටින්නේ Guy Debord වැනි අය මීට දශක ගණනකට පෙර පූර්වෙක්ෂණය කළ ‘The Society of the Spectacle’ එකක ය.
මං සසංකගේ කෘතියේ වඩාත් කැමති ම දෙය වන්නේ ඔහුගේ කවි ඇතුළු හදට විවර වූ ඒවාට වඩා භාහිරයට විවිර වී ඇති ස්වභාවයයි. ඒවායේ තමන් තුළ ම ගිලෙන ස්වභාවයක් නැත.
මාලිගය
දිස් වුණි
ඉපැරණි රජ මැදුරක්
නීල තළාකය මැද
බැස යද්දී සැදෑ හිරු
ඔබ මොබ සරන
ඔරු පාරු අතරින්
තිසර සේනා පිහිනා යන
කෙටි නිමේෂයක.
පෙනුණත් දෑසට මේ සැම
සුරපුරක් සේ මිහිපිට දිදුලන
නැගුණේ සිතට නම්
මවන්නට මේ සුරපුර,
අතීතයේ යම් දිනයක
දාබිඳු හෙළූ සිතුවමකි
අපැහැදිලි සිතුවමකි
ඉතිහාසයේ කොතනැකවත්
ලියැවී නැති.
උදයීපූර්, 19 අගොස්තු 2022
පිටුව -21
විදෙස් ගතවන අපේ බොහෝ කවියන්ගේ කවිවල ඒ විදෙස් මිනිසුන්ගේ ජීවිත, ඒ පරිසරය මා දකින්නේ ඉතා ම අඩුවෙනි. සසංක මානව විද්‍යාඥයෙකු නිසාදෝ ඔහු තමන් සිටින වට පිටාව සාමාන්‍ය දෙයක් ලෙස (taken for granted) ලෙස නොගන්නා බව පෙනෙයි. කවියෙකුවීමට අත්‍යවශ්‍ය ම ගුණාංගයකි එය. අපට ඔහු වැන්නෙකුගෙන් උගත හැකි දෙයකි එය.
කුසල් කුරුවිට