Note - Sarasavi Blog is currently under construction. We’re working hard to bring you exciting content.

නිහඬ නින්නාද (ශ්‍රී ලංකා හයිකු): රධිකා ද සිල්වා

යථාර්ථය යනු අරුත් සහගත මෙන් ම අවුල් සහගත වියමනකි; ඒ අරුත් ඒ අවුලෙන් ගලවා ගන්නී කිවිදිය යි.

කාව්‍ය පිළිබඳ කථිකාව සමාජ මාධ්‍යවල නොමඟ යන බවක් පෙනෙන්නට තිබේ. එය දැන් හොඳින් ස්ථාපිතව ඇති කාව්‍ය ෂානර ද කාව්‍ය නොවන බවට ප්‍රකාශ කරන්නේ විරිත් වැකි පිළිබඳ අදහස වෙනදාටත් වඩා තදින් වැලඳ ගනිමින් ය. දැන් අපට රෝදය නැවත සොයා ගනු ලැබිය යුතුව ඇත. ඇතැම් විට රෝදය නැවත නැවත සොයා ගැනු ලැබීම මැනවි.
ඒ අනුව කෙටි කාව්‍ය, හයිකු කාව්‍ය වැනි ෂානරවල ඇති සංගීතවත් බවක් නොමැතිකම, ශබ්ද මාධූර්යයෙන් යුක්තව උසුරුවනු නොහැකි බව, නැත්නම් අනුප්‍රාසවත් බව නොමැතිකම යානාදී හේතු නිසා ‘පහළට ලියන ගද්‍ය හෑලි’ ලෙස විවේචනය වනු බව පෙනේ. හැල්ල නමැති පැරණි සාහිත්‍ය ෂානරය අද යම් නිෂේධනිය අරුතකින් යෙදීම ද විශේෂත්වයකි. මෙම කථිකාවේ ඇති මූලික ම ගැටලුව වන්නේ කාව්‍ය යන්න නිර්වචනය කිරීමේ දී කාව්‍යයේ හරයාත්මක කොටසට, එහි සාරයට වඩා ස්වරූපයට (form) ප්‍රමුඛත්වය දීම යි. මෙයින් පෙනී යන්නේ සාහිත්‍යයට ජාතිකවාදය කළ බලපෑමයි (මෙහිලා මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ගුණදාස අමරසේකරගේ ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු’ තේමා කරගෙන ‘ජාතිකවාදයේ ගණඳුර’ යනුවෙන් කළ රචනය කියවීම වටී).
කාව්‍ය යනු ඉතා ම පුළුල් සාහිත්‍ය ශාඛාවකි. ඊට සඳැස්, නිසඳැස්, චම්පු, කෙටි කාව්‍ය, හයිකු, හයිබුන්, ගද්‍ය කාව්‍ය (prose poetry), blackout poetry වැනි දෘශ්‍ය කාව්‍ය ඊට අයත් වේ. තවත් එහි පරාසය පුළුල් කළහොත් අප නවකතාව, කෙටිකතාවට, චිත්‍රය යනාදියට ද ඇතැම් විය කාව්‍ය යැයි කියනු ලබන්නේ යම් කිසි සද්භාවවේදී අරුතකින් ය. Poet යන වචනයේ නිරුක්තිය පැනෙන්නේ ලතින් භාෂාවේ poiētos යන්නෙනි, එනම් ‘තැනීම’ යන්නයි. ඒ අනුව ඔනෑම නිර්මාණශීලි දෙයක් තනන්නෙකු යම් ආකාරයකින් කවියෙකි. තවද අගම්බෙන් පවසන්නේ ඔනෑ ම විෂයක, කොටින් ම ගණිතයේ පවා ‘තාක්ෂණික වචන’ යනු එම විෂයේ ‘කාව්‍යාත්මක මොහොත’ බවයි. ඒ අනුව කාව්‍ය යම් කාව්‍ය ස්වරූපයකට උණනය කළ නොහැකි ඉතා ම පුළුල් පරාසයක තිබෙන දෙයක් බව ඒ ගැන කරන කෙටි විමසීමකින් පෙනී යන දෙයකි.
කාව්‍ය ගැන මෙවැනි පසුබිමක් තිබෙන බිමක ‘නිහඬ නින්නාද’ යනුවෙන් මහාචාර්ය රධිකා ද සිල්වා කිවිදිය සිංහල සහ ඉංග්‍රීසි බසින් හයිකු කාව්‍ය සංග්‍රහයක් සරසවි ප්‍රකාශනයක් ලෙස පළ කර ඇත.
අප මෙවැනි හයිකු රසවිදින්නේ කෙලෙස ද? මන්ද මෙම හයිකුවල ඔබ පතන සංගීතවත් බව නැත. නැත්නම් සමහරු ඉතාම නොපැහැදිලි ලෙසකින් කියන ‘කාව්‍යමය රසය,’ ‘කාව්‍යමය හැඟීම’ මෙම කාව්‍යවලින් ලබාගැනීම මදක් උගහට ය. එය කරනවා නම් යම් උත්සාහයකින් කළ යුතු දෙයකි. ඒ අනුව මේ කාව්‍යවල ඇත්තේ උත්සාහ කර දිනාගත යුතු දෙයකි. මෙම කාව්‍යවලින් ඉල්ලා සිටින්නේ නිරුත්සාහී, අකර්මක පාඨකයෙක් නොව, ක්‍රියාශීලී සහභාගිත්ව කියවන්නෙකි. කොටින් ම මෙම කාව්‍ය ‘සාමාන්‍ය ලෙස භාවිත කළ’ (taken for granted කළ) නොහැකිය. මෙකී කාව්‍ය රසවිදීමට යම් පුහුණුවක් අවශ්‍යය. එවැනි පුහුණුවක් ඇති අයට මේ කාව්‍ය අපූරු අනාවරණයන් සිදු කරනු ලබයි. නිදසුනක් ලෙස රධිකාගේ මෙකව බලන්න:

‘වන සෙනසුන
ඇතුළු වන්නෝ පිටව යති
නේක දොරටුවලින්’

-71 පිටුව

කාව්‍ය පිළිබඳ කතා කිරීමේ දී ‘හැගීම්’ යන අදහස ඊට අත්‍යන්තයෙන් බැඳී ඇත. නමුත් මේ හැඟීම් (emotions) යන අදහස ළං කරගත් හැටිය ම කාව්‍ය පිළිබඳ සාකච්ඡාව ලොකු කලබගෑනිකට පත් වේ. කාව්‍ය අපට අවශ්‍ය හැඟීම් ඉපදවීමට ද අර්ථය ඉපදවීමට ද? නිදසුනක් ලෙස බෝම්බයක් පිපිරී දරුවන් මියැදෙන විට අපට දුක, බීතිය, ත්‍රාසය යානදී හැඟීම් යැයි හඳුන්වන දේ ඉපදෙනවා යැයි යමෙක් කියයි. එසේ නම් ඒ පිළිබඳ ලියැවෙන කාව්‍යකින් දුක, බීතිය, ත්‍රාසය වැනි හැඟීම් ඇති කිරීමෙන් ඇති ඵලය කුමක් ද? සතුට නමැති හැඟීම ලබාගැනීමට වෙළඳ පොළේ අතිවිශාල භාණ්ඩ ඇති විට කාව්‍ය කියවන්නේ කුමට ද? කාව්‍යකින් ඊට වඩා නිරාමිස සතුටක් ලබාදෙනවා යැයි කීම ප්‍රයෝජනවත් දෙයක් ද? නිරාමිස සතුට ගැනීමට ආගමික කටයුතු නැත්නම් ඔබ නිරාගමික නම් ඊටත් අවශ්‍ය යෝගා කිරීම, විකල්ප සංගීතයට සවන්දීම වැනි අනන්ත ආදේශක තිබිය දී අපි කවි කියවන්නේ කුමට ද? මාගේ නිරීක්ෂණය වන්නේ අප ‘අරුත’ තවත් ඉදිරියට යමින් ‘සත්‍යයන්’ යන අදහසට හැඟීම් පිළිබඳ කථිකාව දමා කාව්‍ය පිළිබඳ සාකච්ඡාව විකෘත්ති කර ඇති බවයි. අප කාව්‍යකින් බලාපොරොත්තු වන්නේ අරුත් ය; සත්‍යයන් ය. නව සත්‍යයක් හමුවේ අපට පුදුමයක් හෝ කනගාටුවක්, සතුටක් වැනි ශාරීරික හැඟීමක් දැනේ, (මා සිතනා පරිදි) අප සාහිත්‍යය ඇසුරු කිරීමේ දී ඇති වන භාවයන්, හැඟිම් කියා කියන්නේ මෙයට ය. රධිකාගේ මෙම කෙටි කාව්‍ය බලන්න:
‘යුද සරණාගත කඳවුර
දරුවෙක් අඳියි ගඟක්
රතු පාටින්’

-පිටුව 48

මෙයින් අපට ඉල්ලා සිටින්නේ යුද්ධය ගැන හැඟීමක් ඇති කිරීම ද? නැත්නම් එවැනි යුද්ධයක් අපගේ ශිෂ්ටාචාරයමය පැවැත්ම තුළ අරුත් ගන්වා ගන්නේ කෙසේ ද හෝ එහි ඇති සත්‍ය අපට වටහා ගැනීමට බලකිරීම ද? ඒ සත්‍ය වටහා ගැනීමේ දී මා හට දැනෙන කනගාටුව, සිත්තැවුල, ඇතැම් විට ධෛර්යය යටකී අරුතින්, සත්‍යය ඇසුරෙන් පැන නගින දේ ය.
මෙහි නොමග යා හැකි අදහසක් ඇති බැවින් තවදුරටත් පැහැදිලි කරගත යුතු දේ තිබේ. එනම් අරුත් ප්‍රමුඛ කිරීමෙන් සාහිත්‍ය බුද්ධිවාදී දෙයක් බවට පත් කරනවා ද යන්නයි. මුලින් ම කිව යුත්තේ කාව්‍යයක අර්ථය හෝ සත්‍යය අප වටහා ගන්නේ සාම්ප්‍රදායිකව අප සලකන බුද්ධීන්ද්‍රිය හෝ මොළය හෝ කොටින් ම බුද්ධියෙන් නොවන බවයි. අප එදිනෙදා භාවිතයේ දී බුද්ධිමය ලෝකය, භාවමය ලෝකය කියා කොටස්වලට කැඩුව ද මේ ලෝක කෙහෙද තියෙන්නේ යැයි කෙනෙකුගෙන් ඇසුවොත් ඔවුන්ට කට උත්තර නැති වන බවට අමුතුවෙන් කිවයුතු ද නැත. කෙසේවෙතත්, මට අවධාරණය කළ යුතු දෙය වන්නේ මෙම අර්ථය ග්‍රහණය කරගැනීමේ ක්‍රියාවලිය කොහෙත්ම බුද්ධිමය හෝ මානසික ක්‍රියාවලියක් නොවන බවයි. මේ නිසා කවියක් වටහා ගන්නවා යන්න අප කරන්නේ බුද්ධිමය මානසික ක්‍රියාවලියක් ලෙස නොව, ඒ වෙනුවට අප දැනටමත් සිටින අරුත් සහගත ලෝකය සමග කරන නිරතවීමකින් ය. නිදසුනක් ලෙස අපට විහිළුවකට හිනා යන්නේ, නැත්නම් ජනවහරේ එන කියමනක් නිරුත්සහගතව වැටහෙන්නේ, උපහාසයක් ග්‍රහණය වන්නේ සහ කවියක් තේරුම් යන්නේ මානසිකව කරන ක්‍රියාවලියක් නිසා නොව, එය අපට නිරුත්සහගතව සිදුවන නිසා ය. එසේ නිරුත්සහගතව සිදු වන්නේ අප දැනටමත් එය වටහා ගත හැකි පසුබිමක සිටින නිසා ය. කවියෙක්ගේ හැකියාව වන්නේ මේ ක්‍රියාවලිය සිදු කළ හැකි නිර්මාණයක් නිර්මාණය කිරීම තුළ ය.
මෙකව බලන්න:
ඇතැඟිලි නවතී
දුරකථනයේ නම් මත
යළි ඇසිය නොහැකි හඬ

-පිටුව 53
ඒ අනුව සාහිත්‍ය රසවිදිනවා යනු බුද්ධිමය ක්‍රියාවලියකට අයත් දෙයක් නොවේ, අප සාම්ප්‍රදායිකව හඳුන්වන බුද්ධිමය ක්‍රියාවලිය නැත්නම් reflective thinking ඇත්තේ ශාස්ත්‍රීය ලේඛන වැනි දේ වල ය.


බුද්ධිවාදී රචනාවක් ම, නැත්නම් ශාස්ත්‍රීය ලිපියක් ම, විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ම සිදු කරන්නේ තමන්ගේ අධ්‍යන වස්තුවට ඌණිත, වැසුණු කියවීමක් දීම ය. නමුත් කාව්‍ය ඊට පටහැනි ලෙස සිය රචනයේ අර්ථය වීවෘත්තව තබයි. අර්ථය සංදිග්ධ කරයි. ඒ සුන්දරත්වය නමැති අදහසට ඉඩප්‍රස්ථාව සලසමින් ය. සුන්දරත්වය යනු කිසිදු බුද්ධිවාදී රචනයකට උණනය කළ නොහැකි අඩංගුවයි. ඒ අනුව රචනයක දී අප දැනටමත් නිරාවරණය කරන ලද සත්‍යයන් සහ අරුත් විශ්ලේෂණය කිරීම හෝ විස්තර කිරීම සිදු කරන අතර, කාව්‍ය හෝ පුළුල් ලෙස කලාව විසින් කරනුයේ නව සත්‍යයන් සහ නව අරුත් බිහි කළ හැකි අවස්ථාවක් ජනනය කිරීමයි. මොරිස් මාලෝ පොන්ටි පැවසුවේ කලාව යනු පැවැත්ම වෙත සත්‍යයන් ගෙන ඒම බවයි. (the act of bringing truth into being) එය අපට ලෝකය දෙස බැලීමට යළි-ඉගැනුම් ක්‍රියාවලියක් (re-learning) නිර්මාණය කරයි. කලාකරුවා සිය කලා නිර්මාණ ක්‍රියාවලියේ දී වියහැකියාව මෙන් ම සැබෑ ව නිර්මාණය කරයි. සැබෑව නිර්මාණය කරන්නේ අපට පෙර සිතා ගත නොහැකි සහ අලුත් දෙයක් ලෙස ය. මේ නිසා සැබෑව සිදු වූ පසු එය සැම විටම සිදුවිය හැකිව තිබූ දෙයක් ලෙස අපට පෙනී යයි: “the artist in executing his work is creating the possible as well as the real…. “as reality is created as something unpredictable and new, its image is reflected behind it into the indefinite past; thus it finds that it has from all time been possible, but it is at this precise moment that it begins to have always been possible, and that is why I said that its possibility, which does not precede its reality, will have preceded it once the reality has appeared.”
– Henri Bergson, “The Possible and the Real”

දියත් වෙයි යාත්‍රාව —
ධීවර බිරිය අත ගායි
ඇගේ පෙන්ඩනය

-පිටුව 94
තවද රධිකාගේ බොහොමයක් කවි යථාර්ථයේ ස්වභාවය ගැන අපට නව දාර්ශනික පාඩම් කියා දෙයි. අප ලෝකය සහ එහි ඇති වස්තු, වර්ණ, හැඩතල සහ උණුසුම සිසිලස විදින්නේ සහ දකින්නේ ඇතැම් විට ඒවා ජීවයක් නැති අරුත් සුන්දේ ලෙස ය. නමුත් රධිකාගේ කවි කියවන අපට වැටහෙන්නේ අප අවට ලෝකය සහ වර්ණ සහ වස්තු අරුතින් ඉතාම ගැබ්බරව සිටින බවයි. අපගේ ලෝකය අරුත් සුන්ලෝකයක් නොව අරුත්පොවන ලද අරුත් දරාගෙන සිටින ලෝකයකි.
මිතුරන් එකිනෙකා
සමු ගනිමින්
ඇගේ නොසැලෙන සිනහව

-පිටුව 118

කවියා යනු එම අරුත් වෙත අපව යොමු කරන්නා ය.

-කුසල් කුරුවිට

නිහඬ නින්නාද සරසවි ප්‍රකාශනයක් වන අතර මිල රු. 675කි.

Blog article by

Share on

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Categories