Note - Sarasavi Blog is currently under construction. We’re working hard to bring you exciting content.

සිංහළය සහෝදරයෝ – ප්‍රියංවදා පෙරේරා. (Sinhalaya Sahodharayo Book review by Priyangwada Perera-Sarasavi)

විජිත ගුණරත්න මහත්මයාගේ පරිවර්තන කියවීම මම ආරම්භ කරන්නේ පිප්පි දිගමේස් කොළඹ මහජන පුස්තකාලයෙන් අපේ ගෙදරට පැමිණීමෙන් පසුවයි. පොත ආපසු ගියත් පිප්පි නැවතුන බවයි බොහෝ දෙනා මට පැවසුවේ. වෙන්න පුළුවන්. විජිත ගුණරත්න
ඉතා අගනා නාට්‍යකරණයේ ශූරයෙක් වග නම් මම සිහිනයකින්වත් දැන සිටියේ නෑ. කෙසේ වෙතත්, ස්වීඩන ජාතික ප්‍රකට රචිකාවිය ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන්ගේ පිප්පි දිගමේස්, පිප්පි නැව් නගී, පිප්පි දකුණු මුහුදේ යන පොත් ත්‍රිත්වයම ඉංග්‍රීසි බසින් නොව මුල් බසින්ම කරන ලද සිංහල පරිවර්තන කුඩා දරුවෙක්ව සිටි මගේ ජීවිතයට ඇතිකළ සාධනීය වෙනස අතිමහත්.
මේ සටහන නම් පිප්පි ලොක්කී ලටපට සපයන්නී පටකම්බිලි සැවන්දරා දෝන නාවික පදක්කම්ගේ එකම දියණිය දිගමේස් කැකුළී ගැන නොවේ. මේ සටහන විජිතගේ “සිංහළය සහෝදරයෝ” ගැනයි.

මරණය කුඩා ළමයෙක්ට තේරුම් කරන්නේ කෙසේද? සමහර දෙමව්පියන් ප්‍රශ්නය මඟහරිති. සමහර වැඩිහිටියන් පවා මරණය පිළිබඳ කතා කිරීම පවා බැහැර කරති. අනුන්ගේ මරණ ගැන පැවසුවත් අපත් මියයන බව අමතක කරයි. ගුරුවරියක්ව සිටින කාලයේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වූ මට “මරණය” යන තේමාව ඔස්සේ පෙලගැස්වූ කවි (poems) කීපයක් ඉගැන්වීමට සිදුවිය. මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නා අටියෙන් පන්තියේ ළමයින් සමඟ සමීපතමයකුගේ මරණය ගැන කතාවක් පටන්ගතිමි. මරණය ඔවුන්ට බොහොම දුරස්ථ මාතෘකාවක් බව පසක්විය. පිටසක්වල ජීවීන් ගැන පවා දන්නා සමහර ළමයින්හට “මරණය” පිටසක්වලිනුත් එපිට දෙයක් මෙන් විය. මෙය මට අදහාගත නොහැකි වූවකි.
“ඔයාලගෙ කිසිම කෙනෙක් මැරිලා නැද්ද? ආච්චි, සීයා?” විපිලිසරව මම ඇසීමි. ඇත්තටම කෙනෙක් මියගොස් නොසිටීමට වඩා, ඒ වේදනාව දැනී නොතිබීමයි ඔවුන්ට තිබූ අඩුව. එක්තරා විදිහකට ඔවුන් ජීවිතයේ යථාර්ථය දැන හැඳින කම්පා නොවන තත්ත්වයට පත්ව සිටියේ නම් මේ “ඉපැරණි ළදරු හදවතක් ඇති ගුරුවරියට” සතුටු වියහැකිව තිබිණි. ඒත් එතැන වූයේ බුද්ධිමත් තේරුම් ගැනීම නොවේ. නොදන්නා නිසා සංවේදී නොවීමේ උඩඟුකමකි. පරිකල්පනයේ දැඩි දුර්වලතාවයකි.
දිල්ලියේ උගෙන ගුරුවෘත්තිය පිළිබඳව අහස්මාළිගා තනා තිබුණු මට මෙය අතහැරිය නොහැකි විය. “අඩු තරමේ ඔයාලගෙ බල්ලෙක්, පූසෙක්, ටැංකියක මාළුවෙක්වත් මැරිලා නැද්ද?” බලාපොරොත්තු සහගතව විමසන මාව මට තවම මතකය. මට සිටියේ ඉතා හොඳ ආදරණීය සිසුවියන්ය. ඔවුන් මා දෙස අනුකම්පාවෙන් බලා සිටිනු මම දුටිමි.
මරණය ඉතා වැදගත් මාතෘකාවකි. මරණය හා බැඳුනු හැඟීම් නොදන්නා, සිතා බලා නැති මගේ 15 හා 16 හැවිරිදි සිදු දරුවන්ට මම මෙය උගන්වන්නේ කෙසේද…මම වදවූවෙමි.

මරණය දැනගැනීම අත්‍යවශ්‍යය යැයි සිතමි. එය තේරුම් ගැනීම පහසු නොවේ. සිංහළය සහෝදරයෝ තුලින් එය මනාව සිදුකරයි. ඒ සියල්ලටම වඩා “සිංහළය” ඇතිව (brave heart) මේ සත්‍යයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගෙන හැර දක්වයි. යුනතන් තම පුංචි දුර්වල ආදරණීය මල්ලී, “පුංචි හුලං විස්කෝත්ත” ලෙසින් අමතන මල්ලී වෙනුවෙන් මොන අන්දමේ පරිත්‍යාගයක් සිදුකරයිද?
පුංචි කාලයේ පටන් පංගු බේරුවටද, මට නැති දේ අයියාට හෝ මල්ලීට ලැබීම ගැන තරාදි සෙල්ලමක සිටින අපේ බහුතරයක් දරුවන්ට අදීන අභීත ලෙස ජීවිතයට හා මරණයට මුහුණදීමට සිංහළය සහෝදරයන් කියාදෙයි.

පිප්පී නැව් නඟින මොහොතේ “සීතලම සීතල අතක් ඇනිකාගේ හදවත අල්ලන වග” දැනුන මොහොතටත් වඩා වියපත්ව සිටින මම හඬන්නට ඇත. ඒත් යුනතන් කියන පරිදිම “සමහර දේවල් තියනවා, කෙනෙකුට අනිවාර්‍යයෙන්ම කරන්න සිද්ධවෙන. ඒවා කෙරුවෙ නැත්තං එයා මනුස්සයෙක් නෙවෙයි, නිකං කුණුකහල ගොඩක්…”

එවන් කුණුකහල ගොඩවල් සමඟ වෙසෙන අපිත් අපේ දරුවෝත්, විටෙක කුණුකහල ගොඩක තත්ත්වයට වැටීමට කිට්ටුවන අපිටත් සිංහළය සහෝදරයෝ කියවීම මහා ලොකු සුප්‍රකට නවකතා කියවන තරම්ම අගේ යැයි සිතේ.

ප්‍රියංවදා පෙරේරා.

Blog article by

Share on

Leave a Reply

Your email address will not be published. Required fields are marked *