Note - Sarasavi Blog is currently under construction. We’re working hard to bring you exciting content.

නිවුන්හැල්ලගේ නොනිමි මිණි පරිවර්තන කාව්‍ය සංග්‍රහය – කුසල් කුරුවිට (Nonimi Mini Book Review by Kusal Kuruvita)

නිවුන්හැල්ල නමැති කාව්‍යමය පැවැත්ම වෙත : නොනිමි මිණි කාව්‍ය පිළිබඳ හයිඩෙගරියානු කියවීමක්


කාව්‍යත් එක්ක අත්‍යන්තයෙන් බැදුණු ආත්මීයත්වයක් ඇති නිවුන්හැල්ල කවියත් සමඟ කොනදේසි විරහිතව නිරන්තරයෙන් වෙහෙස වන පැවැත්මකි. ‘නොනිමි මිණි’ නමින් ඔහුගේ නවතම කෙටි කාව්‍ය පිළිබඳ කුඩා කෘතිය ඉතා විශිෂ්ට විදේශීය කෙටි කවිවල පරිවර්තන අඩංගු වේ. මේ කවි සිංහල කාව්‍ය ලෝකයට අලුත් මං විවරකර දීමේ ශක්තියක් ඇත. නමුත් මා මෙහිලා උත්සහ කරන්නේ මෙම කාව්‍ය පිළිබඳ සෞන්දර්යාත්මක විස්තර වර්ණනා හෝ ඒ පිළිබඳ න්‍යාය සපයනු වෙනුවට මගේ අදහස්වල ඇසුරට මිත්‍රයෙකු කරගැනීමයි. දර්ශනය තනියෙන් පවතිනවාට වඩා මිත්‍රයෙකු සමඟ පැවැත්ම අගනේ ය. කොහොමත් දර්ශනය යන වචනයේ Philos හී ග්‍රීක අර්ථය අනෙකක් නොව මිතුරා යන්නයි.
කෙටි කවි ගැන කතා කිරීමේ දී එය බොහෝ සෙයින් අභාෂය ලබා ඇති හයිකු ගැන කතා කිරීම අපට අමතක කළ නොහැකිය.
හයිකු කාව්‍ය නිරාශාමය දෙයකි. එහි සංගීතමය බවක් නොමැත. එයට ඇත්තේ ත්‍රීව උදාසීන බවකි. ඒවා ආත්මීය භාෂාවන් නොවේ. ඒවායේ ‘මම’ යන්නෙක් නොමැත. ඒවා ‘කිසිවෙකුගේ නොවන’ භාෂාවකි. හයිකුවල දී දේවල් ශූන්‍යත්වය වෙත රැගෙන යයි. බියෝං චුල් හං හයිඩෙගරියානු ආකාරයකින් පවසන්නේ හයිකුවල පැවැත්මේ ස්වරූපය වන්නේ ශූන්‍යත්වය-වෙත-තල්ලුකිරීමේ-පැවැත්ම (being-pushed-towards-nothing) බව ය. මේ නිසා හයිකු ගුණදාස අමරසේකරගේ අර්- ථයෙන් හද බසක් නොවේ. මේ නිසා හයිකු කාව්‍ය පුද්ගලික වන්නේ නැත. අනෙක් අතට එය දෘඪ ලෙස අපුද්ගලික වන්නේ ද නැත. එහි ඇත්තේ දෑත් දිගු කරන මිත්‍රත්වයකි. කොහොමත් හොඳ කවියක දී කවියාගේ පුද්ගලිකත්වය අභිබවා කවිය මතු වේ. ඉසාගේ මෙකව බලන්න.

The servant, quite dumb:
he shovels the neighbour’s snow,
too.
– Issa

තකතීරු මෙහෙකරු:
ඔහු සවල් ගායි
අසල්වැසියාගේ හිම ද
(දළ පරිවර්තනය මවිසිනි)

හයිකුවල මෙම මිත්‍රශීලිත්වය ලැබෙන්නේ එහි ඇති ශූන්‍යත්වය නිසා ය. ඒ තුළ අනෙකාට පැවතීමට අවශ්‍ය තරම් අවකාශය එම ශූන්‍යත්වය විසින් සපයයි.
හයිකුවල සැඟවුණු අරුත් නැත. ඒවා කේතනය කළ අනාවරණය කරගත යුතු ප්‍රහේලිකාමය දෙයක් නොවේ. එහි අරථකථනය කළ යුතු රූපක නැත. හයිකු තුළ දී සියල්ල ඇත්තේ සෑමවිට ම ඒවන විටත් අනාවරණය වූ දෙයක් ලෙස ය. මේ නිසා හයිකුවලට ගැඹූරකට වඩා ඇත්තේ අනාවරණීත බවකි. එය අමුතුවෙන් අවලෝකනය කළ යුතු යමක් නොවේ. එය සැම විට ම අලෝකවත් යමකි. මන්ද හයිකු තමන්ගේ අරුත සම්පූර්ණයෙන් ම අනාවරණය කරයි. එය කිසිවක් සඟවා නොගනී. ඒවා තුළ ගැඹූරු අරුත් නැත. (ගැඹුරු අරුත් නැත යන්නෙන් අදහස් කරන්නේ ඒවා පටු අරුත් ඇති බව නොවේ) ඒ වෙනුවට ඇත්තේ විවෘත්ත වූ බවකි. මෙම විවෘත්ත බව නැත්නම් අනාවරණය කරන සුළු බව නිසා ඒය පුද්ගලයෙකුගේ ඇතුළු හදට යොමු වූ දෙයක් බවට පත් නොවේ. එහි ගැඹුර වන්නේ ගැඹුරක් (profundity) නැති කමයි.
මේ නිසා හයිකු එක්තරා ප්‍රපචවාදයක් ලෙස හ හැඳින්විය හැකි ය. ප්‍රපචවාදී විධික්‍රමය සමන්විත වන්නේ ද යම් ආකාරයක විස්තර කිරීමක් මත ය. මොරිස් මෙයලෝ-පොන්ටි (Maurice Merleau-Ponty) ප්‍රපංචවාදය පිළිබඳ මෙසේ කියයි: It is a matter of describing, not of explaining or analysing. නිවුන්හැල්ල පරිවර්තනය කර ඇති මෙකව බලන්න:

දිවි පිදූ අය සමරන
නිහඬතාව
හිමෙන් පිරෙයි
දියණියගේ ඔන්චිල්ලාව
-මාර්කෝ ෆ්‍රැන්ටිසෙලී- කැනඩාව

මෙය යම් පසුබිමක් ගැන කෙරෙන විස්තරයකි;අනාවරණයකි; විවෘත්ත කිරීමකි; නමුත් එමඟින් තවත් යමක් සිඳුවේ. එය දැනටමත් විවෘත්ත කර ඇති දෙයක් නැවත වතාවක් පළා විවෘත්ත කරනු ලබයි. (“breaks open an open place, in whose openness everything is other than usual”- Heidegger) එමඟින් පැවැත්ම වෙත නව සත්‍යයන් ගෙන එනු ලබයි.

හයිකු කාව්‍ය සෙන් බුදු දහමින් ලබා ඇති අභාෂය අතිමහත් ය. මේ නිසා ම හයිකු කාව්‍ය න්‍යාය (Theory) සහ කතිතාව (discourse) යන අදහස්වලට කොහොමත් පසමිතුරබවක් දක්වයි.
වචන යනු මොනවා ද? මා වචන භාවිත කරන විට හඟින දේ මා වචන කඩදාසියක් මත තීන්ත පෑනකින් ලියන විට ඒ වචන තුළට ඒ හැඟීම් එන්නත් කළ හැකි ද? පරිඝණක තිරය මත යතුරු ලියනයෙන් අකුරු ලියන විට මගේ ආත්මීයත්වය ඒ තුළට කාවැද්දිය හැකි ද? ඒ වෙනුවට සිදු වන්නේ වචන මගේ පාලනයෙන් මිදී ම ය. මා වචන පාලනය කරන බව මා සිතූ මුත් සැබැවින් ම සිදු වන්නේ වචන විසින් මා පාලනය කරනු ලැබීම ය. වාචන බිණි. හොඳ ම වචන හොඳ ම පිළිවලට යෙදීම කාව්‍ය යැයි ටී.එස් එලියට් කියූ බව මතක ය. හොඳ ම වචන එකට එකතු වී සාකච්ඡාවක් කරයි. කවියාට කළ හැක්කේ කුමක් ද? මේ හොඳ ම වචන එකට යෙදීම ය. මේ හොඳ ම වචන එකට යෙදීම ද හිතා මතා කළ හැක්කක් නොවේ. වචන එකට යෙදුණුවිට අරුත ඉතා ම අහඹු ලෙස ජනනය වෙයි. ඇත්ත වශයෙන් ම මේ නිසා කවියෙක් කවියක් ලිවීම අරඹන විට එහි අවසානය ගැන ඉඟියක් නොමැති තරම් ය. මන්ද කවි ලිවීම සිතාමතා කළ හැකි දෙයක් නොවීමයි. කාව්‍යයක් ඇරඹෙන්නේ ඉතා ම අහඹු, න්‍යායාත්මක භවකින් මිදුණු, සැගවුණු, කවියාගේ පාලනයෙන් තොර ආරම්භයකිනි. ඇතැම් විට කියෙකගාඩ්, හයිඩෙගර් අවධාරණය කළ පරිදි තීරණයක් උමුතු බවක් මත පදනම් වන්නා සේ මෙහි ආරම්භය ද විධිමත්බවකින් තොර ය. එය ඇරෙඹන්නේ උමුතු, අවිධිමත්, වැසුණු මොහොතකිනි. එසේ නම් හොඳ යැයි කිව හැකි කාව්‍ය අපට ලිවිය හැක්කේ කෙසේ ද? එය න්‍යායන් මත පදනම්ව කළ හැක්කක් නොවේ ඒ වෙනුවට අපට මග කියන්නේ අපගේ කවිලිවීමේ පුරුද්දය, කවි ලිවීමේ පරිඡයයි. ඇතැම් විට සතතාභ්‍යාසය කියා කියන්නේ ද මෙයයි. මෙය කාව්‍ය සම්බන්ධයෙන් පමණක් නොව ඔ්නෑ ම නිර්මාණයක් සමබ්න්ධයෙන් අදාළ දෙයකි. මා කාව්‍ය නමැති පරිඡයේ දිගින් දිගට ම නියැලෙන විට, ඉතා අහඹු ලෙස හොඳ විශිෂ්ට කලා කෘති බිහිවේ. (මේ අනුව ප්‍රතිභාණය කියන්නේ පාරභෞතික අදහසක් නොව සතතාභ්‍යාසයෙන් ළගා කරගත හැකි දෙයකි.) මෙයින් අප දැනුම, න්‍යාය හැදෑරිය නොයුතුයැයි අදහස් නොවේ. මෙයින් අදහස් වන්නේ හුදෙක් ඒවා පමණක් කාව්‍ය රචනයේ දී පදනම් සහගත නොවන බවයි. න්‍යාය යනු සුපුහැදිලිතාව අරමුණු කරගත් දේ ය. නමුත් කාව්‍යයේ සද්භාවවේදී ලක්ෂණය වන්නේ දේවල් පිළිබඳ සුපැහැදිලිතාව නොව ඒ වෙනුවට සංදිග්ධතාවය අතර කරගැනීමයි. එය පැහැදිළි බව සහ නොපැහැදිළි බව අතර අරගලයකි. අප නිවුන්හැල්ලගේ පහත පරිවර්තිත කවියෙන් මේ පිළිබඳ සලකා බලමු.

සරත් වැස්සෙන් අඳුරු වන
වියට්නාම ස්මාරකය
මා මිය ගිය සොයුරාගේ නම
-නික් වර්ජිලියෝ – උතුරු ඇමරිකාව

‍මේ කවිය අපට න්‍යායකට ලගු කළ නොහැකි බව අපට හොඳින් වැටහේ. මන්ද එහි ඇති සංදිග්ධතාව විසින් උත්සහ කරන්නේ අර්ථය හැකිතාක් සැගවීම ය. හයිඩෙගර්ට අනුව ‘නිර්මාණාත්මක දෙයක්’ යනු ස්වභාව ධර්මය සහ ලෝකය අතර පවතින බිම් කඩකි. ලෝකය යනු මිනිසා ගිලී සිටින සමස්ථ සම්බන්ධතා ජාලයයි. (හයිඩෙගර්ට අනුව මිනිසාගේ පැවැත්මේ ස්වභාවය වන්නේ මේ ලොව-තුළ-පැවැත්මයි being-in-the-world) ස්වභාව ධර්මය යනු එයින් පිටතින් පවතින දෙයයි. ලෝකය නිරන්තරයෙන් උත්සහ කරන්නේ දේවල් ආනාවරණය කිරීම ය. ස්වභාව ධර්මය නිරන්තරයෙන් කරන්නේ සැගවීමට උත්සහ කිරීම ය. මේ අතර ගට්ටනය පෙන්වීම හයිඩෙගර්ට අනුව කලා කෘතියක මුඛ්‍ය අරමුණකි. මෙහි වියට්නාම ස්මාරකය යනු ලෝකයට අයත් අංගයයි. එයට අයත් පසුබිම සහ සරත් වැස්ස ස්වභාව ධර්මයට අයත් සැගවීමට උත්සහ ගන්නා දෙයයි. මෙකව උත්සහ කරන්නේ දේවල් මගින් නියෝජනය කරන දේවල්වල අර්ථය පැහැදිලි කිරීම පමණක් නොව, දේවල්වලට ස්වභාව ධර්මික පැතිකඩක් ඇති බවත් ඒවා සැගවීමට උත්සහ ගන්නා බවත්, ඇතැම්විට ඒවා කිසිදා අපට අනාවරණය කරගත නොහැකි බවත් පෙන්වීම ය. මගේ උණිත කියවීම මගින් මා මේකව මේ අනුව පැහැදිලි කිරීමට උත්සහ කළහොත් අපට මෙවැන්නක් පැවසිය හැකි ය: වියට්නාම ස්මාරකය ඇමරිකානු අතීතයේ සැගවී යන්න උත්සහ කරන දෙයක් පෙන්වීමට උත්සහ කරයි. ඒ අනුව එය දේවල් පැහැදිලි කිරීමට අනාවරණය කිරීමට තැත් දරයි. නමුත් ස්වභාව ධර්මය එය සැගවීමට උත්සහ කරයි. ඇතැම්විට ඒ ඉතිහාසය විසින් කුරාකුහුඹවන් වැනි තනි මිනිසුන්; මාගේ සොහොයුරා වැනි තනි මිනිසුන් සගවා ගන්නා මෙනි. මේ මෙකව පිළිබඳ පැහැදිලි කිරීමක් නොව, මන්ද මගේ අරමුණ වන්නේ ම මේ පැහැදිලි කිරීමට නොහැකි බව පැහැදිලි කරගැනීම ය.
කාව්‍ය සහ නිර්මාණාත්මක කෘති මේ අනුව විද්‍යාවට පටහැනි යමක් සිදු කරයි. විද්‍යාව යනු දේවල් සමස්ථයක් ලෙස ග්‍රහණය කරගෙන ඒවා පාලනයට නතු කරගැනීමට උත්සහ කරන දෙයකි. නිර්මාණකරණය යනු ඒ වෙනුවට දේවල්වල සමස්ථකරණය කළ නොහැකි පාලනයට නතු කළ නොහැකි ස්වභාව පෙන්වීමට උත්සහ ගන්නා දෙයකි.
මේ හියකු පිළිබඳ කියූ අදහස් ම අඩු වැඩි වශයෙන් වෙනත් රටවල කෙටි කවි සම්බන්ධයෙන් ද අදාළ කර ගත හැකි ය.
මෙකව ද යටකී ලෙස ප්‍රපංචවාදී ලෙස කෙරෙන අනාවරණයකි. එය පැවැත්මේ ස්වභාවය සෑම පැවැත්මක ම ඇති සුවිශේෂිත්වය පිළිබඳ අපට යමක් කියයි. පැවැත්ම යනු සමස්ථයක් ලෙස න්‍යායෙන් ග්‍රහණය කළ නොහැකි දෙයක් බව අපට ඉඟි කරයි.

හැම ලයිලැක් මලක් ම
මට පෙන්වයි
ලයිලැක් ගැන මා
නොදන්නා දේ
-ක්ලෝඩියා කෝටු රැඩ්මෝර් – කැනඩාව

කාව්‍ය විශේෂයෙන් ම ‘නොසන්සුන්’ ‘නිස්සාර’ ‘අනාථභාවයේ’ (destitute) කාලයන්හී දි අපගේ පැවැත්ම පිළිබඳ අදහසක් ලබා දීමට තැත් කරයි. නිවුන්හැල්ල විසින් පරිවර්තිත මෙකව බලන්න.

පෙ.ව. 3.15යි
තවමත් මට නොහැකිය
නිදන්නට
රැහැයියෝ නුඹටත්
-ගැරී ගේ, උතුරු ඇමරිකාව

මේ පිළිබඳ මගේ උණිත කියවීම වන්නේ ( මගේ කියවීම මගේ යුගයෙන් වෙන් කළ නොහැකි ය) අද මිනිසාව අගම්බෙන් පවසන ‘නග්න ජීවිතය’ (bare life) වෙත ඇද දමා ඇති අකාරය මෙකව ඉඟි කරන බවයි. මේ නග්න ජීවිතය යනු අනෙකක් නොව, සතුන්ගේ ජීවිතයයි. අද බොහෝ දෙනාට සුව නින්ද යනු අතීතයට අයත් දෙයකි. බොහෝ දෙනා කරන්නේ තම ජංගම දුරකථනවල ගිලී නිදි වැරීම ය. අනාගතය පිළිබඳ සාංකාව, කාර්යක්ෂමතාව ළගාකරගැනීමේ උනන්දුව, තමා තුළ ම ගිලෙන මෙලන්කෝලිකත්වය නිසා ඉන්සොම්නියාවක වෙලෙයි. ඇතැම්මු නින්දේ සිහිනවල පවා වැඩ කරති. රැහැයි ජීවිතය යනු මෙතැන යටකී ‘නග්න ජීවිතය’ යයි. මෙය කොහෙත් ම මා හිතන්නේ ආදරය අහිමිවීමෙන් ළඳ ගැහැට නිසා නිදවැරීම පිළිබඳ සාම්ප්‍රදායික රොමාන්තික අදහස නොව, ඊට වඩා අප ගෙවනමින් සිටින මේ නොසන්සුන් යුගයේ අපේ පැවැත්ම පිළිබඳ විවරණයකි.
හයිඩෙගර් What Are Poets For? හී දි පවසන්නේ සැබෑ අසරණභාවයේ කාලය හෝ නිස්සාර, නොසන්සුන් බවේ කාලය යනු තමන් අසරණව සිටින බව තමන්ට ම නොවැටහෙන කාලය කියා ය.
‘Then the destitute time is no longer able even to experience its own destitution. That inability, by which even the destitution of the destitute state is obscured, is the time’s absolutely destitute character. The destitution is wholly obscured, in that it now appears as nothing more than the need that wants to be met;’ (Page 91 of Poetry, Language, Thought)
ඉහත කවිය අපට පවසන්නේ මෙම අසරණභාවයට පත්ව ඇති පැවැත්ම සිය අසරණභාවය වටහා ගත නොහැකිව සිටින තත්ත්වයයි.
හයිඩෙගර් අසරණභාවයේ යුගයක කවියාගේ කාර්යය දෙවියන් සහ ලෝකය අතර මැදිහත් කරුවෙකු බවට පත් වීම බව කියයි.
‘ගිගුරුම් සහ අකුණු යනු දෙවියන්ගේ භාෂාව වන අතර කවියාගේ කාර්යභාරය වන්නේ මෙම භාෂාව දරාගෙන, අල්ලාගෙන, මිනිසුන්ගේ ඩාසයින් වෙතට එය ලබා දීමයි.” (Dasein = being there යනු හයිඩෙගර් ජර්මන් බසින් මිනිසාගේ පැවැත්ම හඳුන්වන ආකාරයයි) (‘Thunder and lightning are the language of the gods and the poet is he whose task is to endure and to gather up this language and to bring it into the Dasein of the people’ (GA 39: 31) )
මෙකව එබන්දකි:

රැය පුරා
ඔබ හුස්ම ගන්නා හඬ
සරත් සුළඟ
-පෙනී හාටර්, උතුරු ඇමරිකාව

සුළඟේ තැවරෙන මේ හඬ කුමක් ද? එය අනාථභාවයේ හඬක් ද? දෙවින්ගේ හඬක් ද? සමහර විට මේ දෙවියන්ගේ හඬ සරත් සුළ‌ඟේ හඬ යනු අපව පැවැත්ම වෙත සවිඥානික කරවන හඬක් විය හැකි ය.
කාව්‍ය සිතුවමක් ලෙස ගත හොත් එය අප අද ඡායාරූප යනුවෙන් හඳුන්වන දෙයට වඩා වෙනස් යමකි. යමෙකු මැදිහත් වී එහි කියන්නට දෙයක් දැයි අසන්නට පුළුවනි. නමුත් අප කලබල නොවී මේ පරිවර්තිත කවිය වෙත අවාධනය යොමු කරමු.

වැඩිහිටි නිවසෙහි
ඇගේ බෙහෙත් අල්මාරියේ
මගේ ළමා කල සේයාරුව
-අන්නායින් – කැනඩාව

සමහර විට වැඩිහිටි නිවසේ සිටින වැඩිහියෙකුට මේ ඡයාරූපය බෙහෙත් අතර දිව ඔසුවක් බව මෙකව පවසනාව වෙන්නැති.
ඡයාරූපය යනු යමක් අල්වාගෙන අනාවරණය කිරීමකි. නමුත් කවිය විසින් ඡයාරූපයට අනාවරණය කළ නොහැකි දෙයක් අනාවරණය කරන බව පෙනී යයි. ඡයාරූපය කරන්නේ මාව හෝ ඒ පිංතූරයේ ඇති දෙය යම් කරිකැචර් එකක් බවට පත් කරන විට කාව්‍ය එයට ඊට වඩා ගැඹුරක්, අනාවරණිත බවක් ලබා දේ. අප අද ඡයාරූප කියන්නේ ජංගම දුරකථන මගින් පහසුවෙන් ගන්නා අපගේ සුන්දරත්වය තීව්‍ර කරන ලද මෘදු සුමුදු යමකි. එය අපගේ රූපයේ ඇති අසුන්දරත්වය ඉවත් කරයි. සියලු ම නිශේධනියත්වය වෙනුවට අධි ධනාත්මක බවක් එයට කවයි. එවා අපව එකත්රා අකාරයකින් කාටූන් බවට පත් කරයි. නමුත් කාව්‍ය මඟින් නිපදවන ඡයාරූපය අපගේ නිශේධනීයත්වය, අසුන්දරත්වය (සුන්දරත්වය ද) එපමණක් නොව අපගේ පැවැත්මේ අපට ග්‍රහණය කළ නොහැකි දේ පිළිබඳ ඉඟියක් ද ලබා දේ. නිවුන්හැල්ල පරිවර්තනය කළ මෙකව විසින් දක්වන මේ සංකල්ප රූපය දෙස බලන්න.

සීත ඍතුවේ රාත්‍රියක්
මියගිය මකුළුවා
තවමත් සිය දැලෙහි
එල්ලෙයි
-ඇලන් ෆ්ලෝමන්- උතුරූ ඇමරිකාව

මේ බොහෝ කවිවල ඍතුමය සම්බන්ධයක් ඇත. මේ කවියේ නිරූපණය වන්නේ සමස්ථායක් ලෙස මනුෂ්‍ය සම්බන්ධතාවල ලෝකයෙන් බැහැර ස්වභාව ධර්මයයි. මකුළුවාගේ දැලේ පැටලී ඇත්තේ වෙනත් කෘමියෙකු නොව මකුළුවා ම ය. සමහර විට යට කී ලෙස අනාථභාවයේ කාලය පිළිබඳ හයිඩෙගර් පැවසුවා මෙන් මකුළුවා සිය අසරණභාව පිළිබඳ අවබෝධයක්; ස්වසවිඥානිකත්වයක් නොමැති ගැඹුරු ම අනාථභාවයක සිටී. අනෙක් අතට මෙහි ඇති හයිකුමය ලක්ෂණය වන්නේ එය සම්පූර්ණයෙන් ම මගේ බැහැර ලෝකය වෙත නිරාවරණය වී තිබීම ය. තමා තුළ ගිලීයෑම වෙනුවට භාහිරත්වය වෙත යොමුවීම හයිකුවල ඇති ප්‍රධානම ලක්ෂණයයි. අද අප සිටින්නේ භාහිරත්වය සහ අනෙකා අහිමි වූ ලෝකයක ය. කාව්‍යට අපව නැවතත් අපට අහිමි වූ භාහිරත්වය ළඟා කර දිය හැකි ද?

කුසල් ධනංජය කුරුවිට

Blog article by

Share on

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Categories