Note - Sarasavi Blog is currently under construction. We’re working hard to bring you exciting content.

මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ කාව්‍ය මාර්ගය

Sarasavi Blog

2025-08-09 දින ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේ දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ “සෙවණැල්ල වී පවතිමි” සහ “මහ සිහිනයක මිහිරි කරදර” සහ අනෙකුත් කෘති පිළිබඳ මවිසින් කළ කතාව ඇසුරිනි.

There are two sentences that must be read together: The first is by Ingeborg Bachmann: “A work of art doesn’t argue.” The second is by Heiner Müller: “You can only gain experience blindly.” When Müller speaks of experience, he also means the experience of art. He resists the notion that art comes from knowledge. He doesn’t say that reflection has no part to play in artistic production. What he means is that the interruption of reflection and the suspension of knowledge is part of experience—that is, blindness. The fact that I don’t see anything for a few moments means that something unexpected and new is happening. The new is the disappointment of the old. It’s too new to be the continuation of the old into the present. That makes it irreducible to what has passed or to what exists. That has nothing to do with idealism. It implies the differentiation between the conditional nature of experience or the work of art and the negation of its conditions, which cannot be confused with being unconditional. The unconditional is an idealistic fantasy. The suspension of factual conditionality doesn’t deny conditionality; it simply suspends its authority. That is the moment of the deauthorization of what exists. Suddenly the subject has no arguments and opens itself to an aporia that can hardly be invalidated.

  • Marcus Steinweg; The Terror of Evidence (MIT Press)

“හොඳ කවිය ඇස ගැටී

විටෙක මම අන්ධ වෙමි”

  • හමුවෙද අපේ වෙණ තත පිටුව 58

“අවබෝධයට මනුසත

ජීවිත ධ්‍යානයක

යෙදුමයි කවියෙ කාරිය

හැකි නම් මිනිස් හඳ වෙණ

සියුම් කෙරුමයි

කවියෙ වෑය ම”

  • මහා සිහිනයක මිහිරි කරදර පිටුව 09

“ලොව බොහෝ මහරු කවි

බිරිඳ උයනා අතර

ඇය ගෙදර වැඩ අතර

ලියූ කවියනට වැඩි

කවිකමක් මට ඇතැයි

තුටින් මම බලා ඉමි

සුවඳ එන තෙක් හිඳිමි”

  • හෙවණැල්ල වී පවතිමි පිටුව 84

මෙහිලා මා මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ කාව්‍ය සංග්‍රහ 4ක් පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගනිමි. මෙය යම් ආකාරයකින් තේමාගත කරගත යුතු ය. අමරේගේ පළමු කාව්‍ය සංග්‍රහයේ පටන් මේ දක්වා දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ ඔහුගේ විවේචනයේ වස්තූන් බවට: “ජාතිකවාදය”,  “මධ්‍යම පාන්තික ජීවිතය”, “කොළඹ පාදක කරගත් බුද්ධිමය ජීවිතය”, “රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන පැළැන්තිය”, “දේශපාන පැළැන්තිය”, “සාම්ප්‍රධායික පුර්ෂාධිපතිත්වය” පත්ව ඇති බවයි. මෙකී විවේචනයන් අතර මෙකී කාව්‍ය ස්ත්‍රීවාදීත්වයක්; මෙන් ම අන්තර්ගත කරගැනීමේ ජාතිකවාදයක් ප්‍රවර්ධනය කරමින් තිබේ. තවද මේවා හැරුණු විශේෂයෙන් ම ගැහැනු-පිරිමි සම්බන්ධකම්වල දී මතුවන- නමුත් නොවැදගත් යැයි අප විසින් බැහැර කරන – සත්‍යයන් සමඟ ද කවියා ගනුදෙනු කරයි. ප්‍රසිද්ධ තේමා වෙනුවට මේ නොවැදගත් මාතෘකා බොහෝ අගනී.

අමර කීර්තිගේ නිර්මාණ අතරින් තෝරා ගත් ඉහත කාව්‍ය කණ්ඩ කාව්‍ය සහ කලා නිර්මාණ ගැන පොදු අදහසක් අප වෙත පිරිනමයි:

හොඳ කාව්‍ය අතුළු කලා නිර්මාණ යනු අප නෙත් අන්ධ කරන දෙයකි. එයින් අදහස් වන්නේ එය අපව විඥානවාදයකට කැඳවාගෙන යනවා හෝ නොමඟ යවනවා නොවේ. ඒ පිළිබඳ අවබෝධය සහ අද්දැකීම ලැබීමට අප අන්ධ ලෙස පිම්මක් පැනිය යුතු වීමයි. අප දේවල්වලට අන්ධ වෙන්නේ අපට ඒ දෙය හරි හැටි දැක ගත නොහැකි නිසා ය. අප හොඳින් ම දන්නා දර්ශනයන් වෙත අප කොයි තරම් අන්ධ වේ ද! අන්ධ වෙනවා යනු අප මින් පෙර නොදුටු දෙයක් දැකීමෙන් ඇති වෙන තත්ත්වයකි. මේ මින් පෙර නුදුටු දෙය බොහෝ විට තිබෙන්නේ අපේ සුපුරුදු වටපිටාව තුළ ම ය. මේ සුපුරුදු දෙය තුළ ඇති නුපුරුදු දෙයට අප අන්ධ වූ විට අපට වහා වැටහෙන්නට පටන් ගන්නේ   අලුත් දෙයක් සිදුවෙමින් පවතන බව ය. අලුත් දෙය පරණ දෙය පිළිබඳ කලකිරිම ඇති කරයි. එය පැරණි දෙයහි අඛණ්ඩ භාවය නවත්වයි. අපට යම් ආකාරයක ගාවේෂණයක් ඇරඹීමට මූල බීජය ලැබෙන්නේ මේ ඛණ්ඩනයෙන් ඇති වන මේ අන්ධ භාවය නිසා ය.

අපගේ අන්ධ වීම මේ අනුව අපව නවත්වයි. පියවරෙන් පියවර සිතීමක් ඇරඹිය හැක්කේ මෙතැන් පටන් ය. ‘ජීවිත ධ්‍යානය” ඇරඹෙයි. දේවල් පිළිබඳ හිමින් සීරුවේ සිතීම ඇරඹෙයි. මේ හිමින් සීරුවේ සිතීම යනු සැක කිරීම ම පමණක් නොවේ. සැක කරන්නා සැක කිරීම ද සැක කළ හැකි බව ඇතැම් විට අමතක කරනු ඇත. සියල්ල සැක කිරීම, විසංයෝජනය කිරීම එලෙස කිරීමෙන් ඒවා හොඳ නරක දෙබෙදුම් අතර වටහා ගැනීම යනු දේවල්වල පදනම් සහගත බව ස්තීර කිරීමයි. එය දර්ශනය ප්‍රතික්ෂේප කරන දෙයයි.  කලා නිර්මාණ සහ දර්ශනය අපට පෙන්වා දෙන්නේ මෙලෙස දෙබෙදුම්වල අනිවාර්යතාවය ප්‍රශ්න කළ හැකි බවයි. සැබෑ විසංයෝජනය යනු මෙම සැක කරන පුද්ගලත්වය විසංයෝජනය කිරීමයි. Deconstruction is the self deconstruction. අමරකීර්තිගේ කවි මගේ මේ ස්වයං විසංයෝජනය ඉහත කව ඇතුළු බෙහෝ කවි දක්නට ලැබේ. මෙහි දී ‘කවියා තමාව පවා හෙළදරව්වීමට හැකිය’ යන අවධානම ද අතට ගෙන කාව්‍යකරණය සිදු කරයි. ඔහු මෙතෙක් ආ කාව්‍ය මාර්ගය පුරාවට ම ස්වයං විවේචනයට සැලකිය යුතු ඉඩක් ලබා දී ඇතැයි සිතමි. මේනිසා කවියා බොහෝ විට දේශපාලන නිරවද්‍යභාවය ගැන සිතන බවක් දක්නට නැත. එය කවියකට අවශ්‍ය අව්‍යාජ බවේ ලකුණකි. ප්‍රියන්කර නිවුන්හැල්ල බුහුටි ලෙස කියා ඇති පරිදි අමරේ තමා ද ඇතුළු මනුෂ්‍යයාගේ “අටවක ස්වභාව” හඳුනාගෙන ඇත.

මේ ස්වයං- විසංයෝජනයේ මූලික පියවරක් වන්නේ මනස-භාහිර ලෝකය නමැති දෙබෙදුම විනාශ ඒකිනෙකාගෙන් වෙන් වූ ඒකක දෙකක් ලෙස වටහා ගැනීම විනාශ කිරීමයි.

වටහා ගැනීම අවබෝධ කරගැනීම දැනගැනීම යනු අප තනිව අපේ කුටුම්බය කෙරෙහි වැද හුදෙකලාවේ රික්තකයක් තුළ සිතමින් සිදු කරන ක්‍රියාවක් නොව, ඒ වෙනුවට එය අපගේ ශරීරිය සහ අවට ලෝකය සහ අනෙක් පැවැත්මවල් සමඟ සිදු කරන සම්පර්කයකි. මේ නිසා ගැහැනියක් කෙරෙහී එළඹීම, ඇයට ගරු සරු දැක්වීම, ඇයට ගෞරවාචාර්ය කිරීම යනු අප සමාජයක් ලෙස අත්කරගත යුතු සහ පුරුදු පුහුණු කළ යුතු කුසලතාවන් ය. මේ කුසලතාව වෙනුවට බුද්ධිමය පරිමණ්ඩලය විසින් අපට උගන්වන්නේ, විශේෂයෙන් ම දර්ශනයේ කාටිසියානු ව්‍යාපෘතිය වන්නේ, මෙවැනි කුසලතා ගැන අප බුද්ධියෙන් පිරිසිද දැනගැනීමෙන් මේවා අප තුළ අන්තර්ග්‍රහණය කරගත හැකි බවයි. බොහෝ විට අපට මුණ ගැසෙන ස්ත්‍රීවාදී ව්‍යාපෘතිවල දී අපට පවසන්නේ ස්ත්‍රීවාදය පිළිබඳ නොයෙකුත් න්‍යායිකයන් විසින් ගොඩනගා ඇති න්‍යායන් හැඳෑරීම මඟින් ස්ත්‍රීවාදය දැනගත හැකි බවයි. බුද්ධිවාදියා න්‍යායික දෙව්ලොවකින්, ප්‍රොමීතියස් ගින්දර මුදාගෙන පැමිණියා සේ, දැනුම ගලග්‍රහයෙන් මුදවාගෙන ඇවිත් මනුෂ්‍ය හිතසුව පිණිස අපට ප්‍රදානය කරයි. නමුත් වටහා ගැනීම යනු මෙවැන්නක් ද? කවියන් අපට පවසන්නේ වෙනස් කතාවකි. කවියන් අපට පවසන්නේ වටහා ගැනීම යනු හුදෙක් තනිකාමරයකට වී පොත් මේසයක් උඩ හිඳ කළ හැක්කක් නොව, මිනිසුන් ඇසුරු කිරීමෙන් ලද ශරීරගත දැනුමක් (embodied Knowledge), ශාරීරගත නැමියාවන් (dispositions) තිබිය යුතු බවයි. මේ දැන ගැනීම Verstehen understanding එකකි. එනම් මෙහි දී දන්නවා යනු හුදෙක් යමක් පිළිබඳ පවතින රීති ඉගෙන ගැනීම නොව, පුරුදුපුහුණුවීමෙන් ලබන පූර්ව-න්‍යායික (Pre-theoretical) සහ පූර්ව-සද්භාවවේදී (Pre-ontological) දැනුමකි. මේ නිසා හොඳින් න්‍යාය දන්නා අයට ද මේ දැනුම ක්‍රියාවට නන්වන විට වැරදීම් සිදුවිය හැකි ය. මන්ද දන්නා දෙය සහ ක්‍රියාවට නැන්වීම අතර නිතරම පරතරයක් ඇති බැවින් ය. අමරේ මෙසේ ලියයි:

ගැහැනියකට උරුම

සොබාවික දහමට

අපහාස උපහාස

ස්ත්‍රීවාදය උගත්

මා කෙලෙස කරනෙද?

ටොයිලට් අසුන මත

රහසේ පිස දැමූ

ඒ රුධිර බින්දුව

අමාරුම විභාගෙකි

පාඩම් කළ න්‍යායක – ලේ වැකි කවියක් ( මහ සිහිනයක මිහිරි කරදර පිටුව 08-09)

මෙකී පරතරය සමනය කළ හැක්කේ ‘විශේෂඥභාවයක්’ අත්කරගැනීමෙන් ය. මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් පිළිබඳ නුපුරුදු ධුහුණෙකු ලෙස වැඩ කරගැනීමට ගොස් අප එදිනෙදා ජීවිතයේදී කොපමණවත් වැඩ වරද්දා ගනී.

මේ වැඩ වරද්දාගැනීම් අනාවරණය කිරීම යනු අව්‍යාජ කවියෙකුට කළ හැකි දෙයකි. මෙයින් කවියන් අපට ආරාධනා කරන්නේ “ලෝකය තුළ දැනටමත් ගොඩ නගා ගත් සාමූහික දැනුමක් ඇත, (මේ බෙදාහදාගත් දැනුම තුළ ප්‍රචන්ඩත්වයක් ඇතැයි පවසා එය ප්‍රතික්ෂේප කළ යුතුය කියන න්‍යායවේදීන් ද ඇත. මේ අය ඇත්තට ම කරන්නේ කුඩා දරුවා සමඟ ම වතුර බේසම හලනවාටත් එහා ගොස්, ඒ වෙනුවට වතුර ටික තබාගෙන ළමයා හලන එක ය) අප ඒ දැනුමට හුරුපුරුදු වෙමු, ලෝකය තනිව වටහාගත යුතු දෙයක් නොව, නැත්නම් කියෙකගාර්ඩී කියූ ලෙස ජීවිතය යනු විසදාගැනීමට ඇති ගැටලුවක් නොව, මුහුණ දිය යුතු යථාර්ථයකි” යන අදහස වෙත ය. අමරේගේ “කෝ ඔයා” නමැති කවියේ එන පෙම්වතා අඩුම වශයෙන් මේ බුද්ධිවාදියා වෙනුවට තමන්ගේ ආධුනික භාවය වටහා ගත් අයෙකි.

27 කෝ ඔයා

….

ඔයාගේ සාරියත්

හැට්ටෙත්

සපත්තුත්

පණ ඇවිත් ඇවිදිමින්

කොහේදැයි හොයනවා ඔයා

….

අයන් වී කෙළින් වූ කමිසයේ

අයන් වී කෙළින් වූ කලිසමේ

අයන් මෙන් දැඩිව ගිය

ඒ දෙකේ සිරගතව

ඔයා කොහිදැයි හොයන

සැමිකමෙහි ආධුනික

පෙම්වතෙකු ඉන්න බව

දන්නව ද ඔයා?

මිනිස් සම්බන්ධතාවල දී තමන්වත් අනෙක් අයවත් අපහසුතාවට පත් කරගන්නා අවස්ථාවක් පිළිබඳ කවකි “අඩි හයක් උස පිරිමියෙක්” නමැති කාව්‍ය. එපමණක් නොව, කාව්‍යයේ එන කථක ගරුවරයා නැවත ගැහැනිය ස්ථාපනය කරන්නේ ද පරණ පුරුදු පීතෘමූලිකත්වය තුළ ම ය. කවියේ එන සිදුවීම මෙවැන්නකි: ගරුවරයෙක් තම පන්තීයේ සිටින සිසුවියන්ගෙන් “විය යුතු ද උස කෙතරම් පිරිමියෙකු කඩවසම් සැබැවින්?” යනුවෙන් පැනයක් නගයි. ගුරුවරයා නොසිතූ පරිදි එක් ළමයෙකු පිළිතුරු දෙන්නේ “අඩි හයක්වත් උස නම්” යනුවෙනි. එවිට ගුරුවරයා තවත් පිරිස අපහසුතාවයට පත් කරමින් අසන්නේ: “ඔබ ලද පෙම්වතුන් උසදැයි කොයි තරම්” යනුවෙනි. “පහයි නමයයි” පිළිතුරකි. මින්පසු එකී ගුරුවරයා තුළ ඇති අනාරක්ෂත භාවයේ හැඟීම් මතු වන්නට පටන් ගනී: “අඩි හයක් උස නැති මම අද ගෙදර යන විට ඉහළ උළුවස්සේ හිස වදින බව අඟවමි”. නමුත් මෙකී ගරුවරයා තවම පාඩමක් උගෙන නැති හැඩය. කවිය අවසන් වන්නේ ගැහැනුන් තුළ පිරිමින් ක්ෂුද්‍ර විය හැකි බව පවසමින් ය. මෙයින් මට නම් හැඟවෙන්නේ ගැහැනුන් විශාල පිරිමි ශරීර, විශාලනය කරන ලද පුරුෂ ලිංග සහ මාංශ පේෂී ඇති මිනිසාට කැමති තැනැත්තියක් ලෙස, එනම් patriarchy තුළ ම ඇයව ස්ථාපනය කිරීමක් ලෙස ය. ටික්ටොක්, සහ සමාජ මාධ්‍යවල පෙනී සිටින බොළඳ ටියුෂන් ගුරුවරුන් මෙවැනි දේ සමාජ මාධ්‍යට මුදා හරිනු අපට දැන් අපමණ දැක ගන්නට ලැබේ. මෙවැනි දේහී සැබෑ අරමුණ ගැහැනිය පිළිබඳ විකිණිය හැකි කිසියම් හෝ දෙයක් වේ ද එය අන්තර්ජාලයේ විකිණීමයි.

අඩි හයක් උස පිරිමියෙක් ( මහා සිහිනියක මිහිරි කරදර 74)

….විය යුතු ද උස කෙතරම්

පිරිමියෙකු කඩවසම් සැබැවින්

…..අඩි හයක්වත් උස නම්

ඔබ ලද පෙම්වතුන්

උසදැයි කොයි තරම්?

ඇසූවෙමි එය වුවත් නොතරම්…

පහයි නමයයි…

ගැහැනුන්ගෙ පෙම් හිත්වල

අපට හිමි විය හැකි

ක්ෂුද්‍රභාවය කුදුබව

ගැන මේ කවිය ලියනෙමි (උපුටා ගැනීමේ දී කොටස් ඉවත් කර ඇත)

“සොයා යමි කුරුලු තුඩ” මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ ඉතා ප්‍රවීණ මිනිසෙකු පිළිබඳ ලියැවුණු අනගි කාව්‍යකි. සමහර විට අපට කරදරකාර යළුවන් සිටී. ඔවුන්ගේ රස්තියාදුවලට, සමහර විට ඔවුන්ගේ පම්පෝරිවටල අපව ඇදගෙන ගිය ද අප ඔවුන්ට ඒ පිළිබඳ දොසක් නොකියයි. මේ ඉවසීම සමහර විට බොහෝ දෙනෙකුට නැත. මෙහි එන කථකයා සිය මිතුරා සමඟ යම් යම් බෙහෙත් වර්ග සොයා ගම්දනව්වල ඇවිදින්නේ මිතුරා පිළිබඳ විවේචනශීලීවය. නමුත් ඔහු ඒ බවක් ඔහුට පවසා හිත රිද්දන්ට යන්නේ නැත:

සොයා යමි කුරුලු තුඩ

හුදෙක් තනි හදවතට

එකින් එක ඉන්ද්‍රියට

පමණ පණ පැවති විට

ජීවිතය හොඳ වේද

මිතුරුගෙන් නොඅසාම

ඔහු සමඟ ඇවිද යමි

ඔහු සමඟ ඇවිද යමි

බැස ඔහුගෙ සපත්තුවෙ

….

කුමක්දෝ ලෙඩකට

කහට ගෙඩි කඩනට

නගින්නට වී මටම ගහකට

එකෝමත් එක ගමක පිරිසිදු

ෆෝන් එක ඔහු අතට දෙන්න

“මචං” කීවද නිහඬ වූ තැන

අසුරු සැණෙකින් සිහිවිය

ස්ට්‍රෝක් එකකින

ඔහු ඇදවැටුණ බව

වසර ගණනකට පෙර

ගහ මුල ඉවත් කළ

පාවහන් ජෝඩුව

දැන් මගෙද ඔහුගෙද?

අපේ මිතුරන් අපට අහිමි වන්නේ උන් හිටි ගමන් ය. මෑතක දී අප කොතරම් අපගේ සමීපතමයන් සහ මිතුරන්ගේ වියෝවන්ගෙන් දුකට පත් වන්නට ඇති ද. ඔවුන් මිය ගිය බව ඇසූ විට අපට මුලින් ම මතකයට එන්නේ අප ඔවුන්ට කුරිරු වූවා නම් එය හෝ අප ඔවුන්ට සොදුරු වූවා නම් එය ය. යමෙකුගේ සිතක් රිදවූ විට අප රිදවා ගන්නේ අනෙකාව පමණක් නොව, අපවත් රිදවා ගනී. මනුෂ්‍ය සම්බන්ධතා පැවැත්වීම යනු ඉතා ම ඉවසීමෙන් කළ යුතු දෙයකි. මේ ඉවසීම යනු ස්ත්‍රීවාදය හෝ පීතෘමූලික සමාජයක් පිළිබඳ විද්‍යාත්මකව උගෙන, නැත්නම් මානව විද්‍යාව උගෙන කළ හැක්කක් නොව, ජීවන අද්දැකීමෙන් සහ දීර්ඝකාලීන පුරුදුපුහුණුවීමෙන් කළ යුතු දෙයකි. එබැවින් බුද්ධියෙන් දැනුම කුමක් දැයි ගලග්‍රහයෙන් මුදවා ගැනීමක් යනුවෙන් දෙයක් නොමැත. දැනගැනීම යනු දිගින් දිගටම කරන අවසනක් නැති ක්‍රියාවලියකි. මම දැන් දන්නවා යැයි සිතන මොහොතේ ම යථාර්ථය ඔබට නොදන්නා යමක් දෙනු ඇත. කවියන් යනු සුන්දර පිළිතුරුවලින් සැනසෙන අයෙකුට වඩා අවශ්‍ය ම ප්‍රශ්න සමඟ සදාකාලිකව පොර බදන්නෙකි. කාව්‍ය යනු පිළිතුරු සෙවීම නොව නිවැරදි ප්‍රශ්න ඇසීම ය.

මේ ඉවසීම, මිනිසුන්ට සොදුරු වන විදිහ, මිනිසුන්ට ගරු කරන විදිය ගැන ලියවුණු තවත් කවකි “මනරම් උයන” (සෙවණැල්ල වී පවතිමි)

පන්සලක් කරපු අය

ඒ අසිරිමත් උයන

“උපාසක අම්මලා”

කිය කියා බැණ වදිති

තමන් විඳිනා ගැහැනු

පිරිමි පිරිමිම එක්ව තනිව බොන තැන්වල

“උපාසක අම්මලා” යැයි නරක යැයි හඳුන්වන ගැහැනුන්ට උපහාසයට යොදන අතර සමහර විට පන්සල් යන ගැහැනුන්ට ද යොදයි. කෙසේවෙතත්, මෙහිලා විවේචනයට බඳුන් වන්නේ දෙකොට්ටාසයකි යැයි හැගේ. එක් පිරිසක් වන්නේ අරක්කු බිබී ගෑනුන්ට බනින ත්‍රාඩ පිරිස ය. අනෙක් අතට ආගමික දෑ බැහැර කරන බුද්ධිවාදී ලිබරලුන් ය.   

අමරේගේ කවිවල නිර්න්තරයෙන් ම කාටිසියානු බුද්ධිවාදියා සහ ලිබරල් බුද්ධිවාදියා විවේචනයට පාත්‍රවේ. සෙවණැල්ල වී පවතිමි කාව්‍ය සංග්‍රහයේ එන “හිස් පුටුව” එවැනි කවියකි. මෙය කියවූ විට මට මතකයට නැගෙන්නේ තමන්ගේ කාමරයේ ගිනි මැලය සමීපයේ හිඳගෙන දියවෙලා යන ඉටි පහන් දෙස බලාගෙන මෙනෙහි කිරීමේ යෙදෙන ඩෙකාට්ස්ව ය. හුදෙකලා චින්තකයා ලෝකය පිළිබඳ සියලු න්‍යායික දැනුම පදනම් කරගත හැකි තවදුරටත් සැක කළ නොහැකි නිසැක ප්‍රමේයක් ලබාගත් මොහොතේ දී වටහා ගැනීමට නොහැකි වූයේ කුමක් ද? එනම් අප ලෝකය දෙස මෙලෙස දුරස්වූ ලෙසකින් ව්‍යුක්ත ලෙසකින් නොබලන බවය. දැවෙන ඉටි පහන යනු අපට අලෝකය ලබා ගැනීමේ ප්‍රබවක් මිස, එහි උස, බර, පැහැය, හැඩය, ඝනත්වය, විශ්කම්භය, ස්කන්ධය අප වෙන වෙන ම දකින්නේ නැති බව ය. අප අපගේ ලෝකය කොතරම් සුපුරුදු දෙයක් ලෙස ගන්නේ ද යත් ඇතැම් විට අප අවට ලෝකයක් තිබෙන බව ද අපට අමතක වී යයි. ඔබ දැන් හිඳ සිටින්නේ පුටුවක බව, හිටගෙන සිටින්නේ බිමක බව, ඔබ වටා නොයෙකුත් ගෘහ භාණ්ඩ ඇති බව ඔබ ඔබගේ සුපුරුදුභාවයේ වටපිටාවක් ලෙස පාරදෘෂ්‍ය ලෙස ගන්නවා මිසක ඔබ එය අධ්‍යන වස්තුවක් බවට පත් කරගන්නේ නැත. අමරේ මෙසේ ලියයි:

මේසය ඉදිරිපිට මා ලියන තැන

ඝෝෂය ඉක්මවා මා නිහඬ වන තැන

පුටුවක් හිස්ව පැවතී ඇත

මා නොදැන

‍නොදැකිමි එය එලෙස තිබෙන බව

ලයිට් කැපූ ආණ්ඩුවේ ගනඳුරක

වදිනා තෙක්ම එ’පුටුව

දණිහ මැද

මේ මිනිසා ඔහු මෙපමණ කාලයක් සිතූ හොඳම සිතුම් සිතා ඇත්තේ මෙතැන සිට ය. හොඳම ලියුම් ලියා ඇත්තේ මෙතැන හිඳ ය.  නමුත් ඔහුව ඉතා ම දුකට පත් කරමින් ඔහුට වැටහෙන්නේ ඔහු අවට ලෝකයට කොතරම් අන්ධ වී සිටියා ද යන්නයි.

මේ ගෙදර හොඳම සිතිවිලි සිතන

සිතන්නට ඇතැම් විට

වාඩි වෙන පුටුව එය

ආණ්ඩුව පිරි නැමූ ගනඳුරෙහි

ආලෝක වී තිබේ ඒ අසුන

හිස් පුටුව

කථකයා හිතාගෙන ඉන්නේ ඔහු ඒ නිවසේ හොඳ ම සිතන්නා බව ය. ඒ ගැන ඔහුට ඇත්තේ අඩම්බරයකි. එහි ඇත්තේ අපූරු උපහාසයකි.

අමරේගේ න්‍යාය, සහ තර්කමය ලෝකයට ඇති විරෝධය බොහෝ තැන දැකිය හැකි ය.

ඔහු ද කියනු වැනි රිම්බෝ කී ලෙස ම:

“නොවෙමි මම සිරකාරයෙක්

මාගේම තර්කයෙහි

හෝ මාගේම ගණිතයෙහි”

අමරේ යනු භාෂාව පිළිබද මනා දැනුමක් ඇත්තෙකි. භාෂව ඉගෙනීම යනු කුමක් දැයි ඔහු හොඳින් දනී. භාෂාව ඉගෙනීම යනු සොරකමකි. මේ සොරකම පොතක් කියවා කළ හැකි දෙයක් නොව, ක්‍රියාදාමයක් ලෙස කළ යුතු දෙයකි. මේ ක්‍රියාදාමය කළ යුත්තේ භාෂා දැනුම ඇති අය අතර ගැවසෙමින් ඔවුන්ගෙන් පොකට් ගසනා ලෙස ය. මන්ද අප එකී පැළැන්තියෙන් එන්නන් නොවන නිසා එය නොවැලැක්විය හැක්කකි. විටින් විට පොඩ්ඩ පොඩ්ඩ අප ඉංග්‍රීසි බසින් ආඪ්‍ය අයගෙන් පොකට් ගසයි. ඇතැම් උදවිය “ආ ඔයා හොඳට ඉංග්‍රීසි කතා කරනව නෙ- From now on, I must speak to you in English” – යැයි ඇතැම් විට සමච්චලයට කියයි. ඇතැම් විට එසේ නොවන්නට ද පුළුවන. සමහර විට එය අපට අප ගැන තියෙන හීනමානයක් ම ද විය හැකි යත කෙසේවෙතත්, ඉගෙනීම යනු ලැජ්ජාව සමඟ කළ හැක්කක් නොවන බව කවියා දනී: මේ නිසා ඔහු හොරකමේ යෑමේ කිසිදු ලැජ්ජාවක් කනගාටුවක් ඇත්තේ නොවේ. මේ කවියේ ඇති අනගිකම වන්නේ එයින් අපට යෝජනා කරන්නේ හුදෙක් මේ ඉංග්‍රීසි කතා කරන සමාජයට වෛර කිරීම වෙනුවට මේ භාෂා දැනුම දැනුමක් ලෙස අප උකහා ගත යුතු බවයි.

පිරිමියාව සමාජ ගත කර ඇත්තේ ඉතා ම entitled පුද්ගලත්වයක් ලෙස ය. සමාජ මාධ්‍යවලින් ගැහැනුන්ට අනිසි යෝජනා කරන පිරිමින් අද සමාජයේ එමට ය. මේ අය අතර ඉතා ම බුද්ධිමත්,ඉතා උසස් උගත් යැයි කියන අය ද සිටී. බුද්ධිවාදියාට නොතේරෙන දෙය නම් පුරුදු පුහුණු කළ යුතු දේ ද තිබෙන බවයි. ගැහැනුන් පිළිබඳ ඇති මේ උඩගු හිමිකම් පෑම (entitled) නිසා ගැහැනුන්ගේ සුළු සුළු වෙනස්කම් හේතුවෙන් ද හිත නරක්කරගන්නා, බිඳ වැටෙන, තරහ ගන්නා සහ වේදනාවට පත්වන ආත්මීයත්වයක් පිරිමියාට හිමිව ඇතැයි පවසන පිරිමි පෞර්ෂයේ ඇති මෙකී දුර්වල පක්ෂය පෙන්වන කාව්‍ය රාශියක් මෙකී කවි ගමනේ දැකිය හැකි ය. මේ එකමත් එක පිටරටක කෘතියේ එන  “අතිනත් ගත් පොත්” කාව්‍යයෙනි:

මේ පිරිමියා කැමති යම් ආකාරයක විලාසිතා සොයාගෙන යන ගැහැනියකට වඩා සාහිත්‍ය මාසයට පොත් සල්පිල් කරා යන පොත්පත් කියවන ගැහැනයකට ය.  පොතපත නොකියවන ගැහැනිය ගැන කියන්නේ මෙසේ ය:

මේ නම් රසික දෑසකි

හොඳම කවි කියවා ඇති

සිංදු පද උඩ පාවෙන

නංගියෙකුට වැඩිය

මේ පොත්පත් කියවන ගැහැනියට කැමති මිනිසා ම ඇය රහසේ පොතකට ඇලුම් කරන විට තැවෙයි:

ඒ පොත් රාක්කය අස

පොතක් දෝතින් ගෙන

ඈ සිඹින බව දැක

මා හද කපා ගිය හීයකි

වෙනම ම රාක්කෙක

තිබෙයි පොත් වගයක්

එකින් දෙක දෙක පිටපත්

ගෙදර කරදර ඇති

හිතේ පීඩා ඇති සමහර දවස්වල

ඒ රාක්කේ පොත්

වෙන වෙනම ගෙන කියවමු

තනි තනිව නිහඬව

අපට වෙන් වූ තැන්වල

ඇගේ පොත්වල

සහ මගේ පොත්වල

අපේ පොත්වල නැති මිහිරකි

මේ කවිය එන්නේ ඔහුගේ “සෙවණැල්ලවී පවතිමි” කෘතියෙනි. මේ ගැහැනිය රැකියාවක් කරන, තමන්ගෙම ඇඳුම් පැළඳුම් ගන්න ස්ත්‍රියකි. ඇය කණ්ණාඩිය අභිමුව සැරසෙන විට ඇගේ පෙම්වතා හෝ සැමියා “ඔච්චර කණ්ණාඩිය ඉස්සරහා ගැවසෙන්නේ මන්දැයි” අසයි. එයට පිළිතුරු දෙන මේ ගැහැනිය ඉතා උපහාසයෙන් “දයාබර ගෙදරිඳුනි” කියා සැමියාට ප්‍රතිචාර දක්වයි: මෙහි දී ඈ තුළ ඇති පවුල් ජීවිතය පිළිබඳ ඇති කලකිරීම නමුත් තවමත් සැමියා පිළිබද ඇති යම් ආකාරයක ආදරය ප්‍රකාශ කරයි. නමුත් මේ ගැහැනිය තවමත් තමන්ගේ විරෝධය නොපාන මනස අභ්‍යන්තරිකව සන්වාද කරමින් සිටින්නියකි. යම් ආකාරයකින් කවියා ඇය වෙනුවෙන් මෙකව ලියන්නා සේ ය. ඛේදනීය ම දෙය වෙන්නෙ ගැහැනිය ද පිරිමියාගේ මේ අනාරක්ෂිතභාවය (insecurities) ආදරය යැයි සිතීම.

දර්පණ දර්ශන

දර්පණය ඉදිරිපිට- කිමැයි ගැවසුම් නිතර

විසි කරත- උපහාස ඇනුම් පද

දකින්නේ මා නොවේ – මා බලන කැඩපතෙහි

ගෙදරිඳුනි දයාබර මම දකිමි

ඉක්මවා මගේ රුව

මගෙම පඩියෙන් ගත්ත- ඇඳුමකට අභරණට

වුව ඇනුම්පද කියන – බලය ලද

ගෙදරින්ද! කෙසරින්ද මා බැන්ද

විවාහේ කැඩපතේ – වියළි වීදුරු තලේ

සිරගතව වියළි වූ – අස්පර්ශනීය වූ

රූපයකි ඔබ සබඳ

මට සිතෙන ඒ සිතුම් – කිව නොහැකි වචනයෙන්

මගෙ සිතේ අදරේ – තාම උණුසුම් බැවින

ඔබ වෙතට හැරී මා – බලන බැල්මේ මූණ

ඔබට ඔබ දක්වන – කැඩපතක් නොවන්නට

ආදරේ කරුණාව – පිරුණු බැල්මක් කරමි

මා මුහුණ දර්පණය – ඔබෙන් සඟවා ගනිමි

ඒ වුණත් පෙර සිට ම

බිරින්දන් කළ සේම

ආදරේ රැකගනිමි

ඔය වචන කියවෙන්නෙ

ජීවිතේ බර නිසා

බවද යළි යළි සිතමි

එත් මම මේ කවිය

ලෝකයට පළ කරමි!

අමාරේගේ කාව්‍ය ව්‍යාපෘතිය පුරාම  මධ්‍යම පන්තික ජීවිතය වැටී ඇති ආරවුල අපට පෙන්වා දේ. එහිඳී ද ඔහු බොහෝ ලෙස පහර දෙන්නේ අප වැටී ඇති බුද්ධිවාදී උගුලට ය.  

මංගලාලා

“මංගලා මගේ දූ”

යැයි ලියන්නටත් බැරි

අලුත් ඇලියොන් එකෙන්

මං තවත් ණය උනා

නොමිලෙ දෙන ඉගෙනීම

කරන දඬුවම මෙයයි

තවද රාජ්‍ය නොවන සන්විධාන ඔස්සේ සමාජයේ යම් තත්ත්වයක් අත්කරගත් පැළැන්තියක් පිළිබඳ උපහාස දනවන කවියකි මේ, මෙකී පිරිස බුද්ධිවාදය සමාජ ගත කරන පිරිසයි. ඔහුගේ නවත ම කෘතියේ එන ‘ගාසාව’ පිළිබඳ කවිය ද එබන්දකි.

ධනාත්මක තරුණයෙක්

බයික් එකකුත් දීල තියෙනවා

සාමෙ එනකං බයික් එක අය්යට

ගාසාව ගාසාව ය

ඔබේ මහැදුරු දිවියෙම

ප්‍රගතිශීලී මුළු මුහුණුවර

පිටරට සංචාර

අමතර දීමනා

සුදෝසුදු ලිබරල්කම්

ඈ සියලු දේ ලැබුණේ

ගත් හෙයින් නොවෙතිද

වදනරුතින් උතුර?

ගාසාව ගාසාවය

එය ලොව එකම ගාසාව ය!

සමාජයේ ඉතා ම ආන්තීකරණයට ලක් වූ දරුවන් ගැන මිනිසුන් ගැන ඒ මිනිසුන් වෙත තවත් මිනිසුන් කරන කුරිරුකම් ගැන ද අමරේ බොහෝ විට ලියයි. ‘එකමත් එක පිටරටක’ කාව්‍ය සංග්‍රහයේ දී “ඇයි මේ?” කාව්‍ය අපගේ හදවත් සසල කළේ ය.

එහි ම එන ‘ආලෝකය’ කාව්‍යයත් එබන්දකි.

හැමෝ ම හරි හරි පච ගැහුව

එව්ව අපි කවදත් අහපුව

මේ කෙල්ල කිව්වෙක හරි නැවුම්:

“අපේ ගෙදරට ලයිට් අරං!”

ජාතිකවාදයෙන් ජාතිවාදයෙන් මත්ව සිටින මිනිසුන්ගේ විකාර සහගත බව කුඩා දරුවෙකු ලවා පෙන්වා දෙන අයුරු අපට මතක් කරන්නේ රාජතුමා නිරුවතින් යැයි කුඩා දරුවා ය.

එකමත් එක පිට රටක

කරතබාගෙන ඔහු “ලුනු ලුනු” සුපුරුදු ලෙස

කියවත, කොම්පියුටර් තිරය මත

මතුවෙත කරුණා රුව

“තාත්තා” යැයි කීය

මපුතු මගෙ හිසට ඉහලින්

මේ අතර සාමාන්‍යයෙන් අමරකීර්තී තුළින් මතු නොවන නමුත් ඔහුගේ වඩාත් ප්‍රබල යැයි සිතන කාව්‍ය කිහිපයක් ද ඇත. “සරාගේ දෙවැනි ලියුම” ප්‍රබන්ධ චරිතයක් ඇයව රචනා කළ කතුවරයාට දක්වන විරෝධය අපට කියයි. ඇතැම් විට එයින් අපට කියන්නේ මාර්ටින් වික්‍රම සිංහ ගතයුතුව තිබූ ස්ත්‍රීවාදී මඟ විය හැකි ය. ස්ථාවර මුදල් හදල් ඇති එකෙකු සමඟ පමණක් නොව, ගැහැනුන් මේ දේවලට ප්‍රිය නොකරන මිනිසුන් සමඟ ද පෙමින් වෙළෙන නියෝජ්‍යත්වයක් ඇති ආත්මීයත්වයක් ඇති තැනැත්තියකි යන්න ඇගේ චෝදනාවේ ගැබ්ව ඇතැයි හැඟේ.

සරාගේ දෙවැනි ලියුම

ජීවිතයේ කවදාවත් ඔබට මිසක් අන් කාටත්

මම නම් පෙම් කර නැත්තෙමි

එය කියන්න ඉඩ නොදුන්න

මාර්ටින් වික්‍රමසිංහට මම

එදත් අදත් අකමැත්තෙමි

‘අර කඩුව ගත්ත තවුසා’ ද අපූරු උපමා කථාවක් වැනි කාව්‍යයකි. තවුසෙකු ළඟ අහම්ඹෙන් කඩුවක් අතැතිව පලා යන අයෙකු නතරවී, කවුසා ප්‍රශන්සා කරයි. තවුසා ඔහුට නවාතැන් දුන්න ද පසුදින තවුසා නැගිට බලන විට යටකී තැනැත්තා ඔහු හැර ගොස් ය. මෙයින් තවුසා ශෝකයටත් කෝපයටත් පත්ව ඒ තැනැත්තා ගෙනා කඩුවෙන් එමග යන උන් මරන්නට පටන් ගනී. මෙය ජාතන කථා සිඟිත්තක් බඳු ය. කියවන්නෙකුට නොයෙක් ලෙස කියවා ගන්න ඉඩ ඇත. මට නම් මතක් වන්නේ අද සිටින තවුස් විශේෂයක් ගැන ය. ඔවුන් සමාජයෙන් බැහැරව වන ගත වන්නේ නැත. සමාජයෙන් බැහැරව ඔවුන් කරන්නේ බොහෝ විට යූටියුබ් නාලිකාවක් පටන් ගැනීම ය; ටික් ටොක් ගිනුමක් තැනීම ය.

අර කඩුව ගත්ත තවුසා

හඹා යන

මිනිසෙකු

කඩුවකි

පලා යන

කිසිවෙකුට

ගැලවීමක් නැති

දෙවැනි හඳ කවියත් එවැනිම කථා සිඟිත්තකි. කවිය අවසන් වන්නේ අපූරු මුණගැසීමක් සමඟින් ය: වතුරත්; සඳත්; සෙනගත්.

දෙවැනි හඳ

අන්න පුන්සඳ නැගෙයි අහසෙත්

ඊට වැඩි උනුහුමක් සොඳුරක්

දැරී ලිඳ වෙත එබෙන සෙනගක්

හැරෙන විට යලි ලිදේ පතුලෙන්

දුටිමි වතුරත් සඳත් සෙනගත්

“හමුවෙද අපේ වෙණ තත” කාව්‍ය සංගීතය, දඩයම් කිරීම, යුද්ධ කිරීම, උපකරණ ගොඩ නැගීමේ යනාදී තාක්ෂණයන් සොයා ගැනීමේ ඉතිහාසයෙන් පැනෙන රටාවක් වෙත අපේ අවධානය යොමු කෙරෙන කාව්‍යයකි. මෑතක දී අනුරාධ මහසිංහ විසින් රචනා කරන ලද විජ්ජු කාව්‍ය ද මෙවැනි නමුත් ආඛ්‍යාන කාව්‍යයකි. අමරේගේ කවියෙත් අනුරාධගේ කවියෙත් මා දකින දෙය නම් ඔවුන් දෙදෙනාම යම් ආකාරයකින් යෝජනා කරන්නේ මේ තාක්ෂණය සමඟ ම පැන නඟින සහ වෙනස් වන ජීවන දර්ශනයක් ද ඇත යන්නයි. සංගීතය සහ තාක්ෂණය වැනි දේවලින් වෙනස් කරන්නේ අපගේ රසවින්දනයේ පරාසය පමණක් නොව, අපගේ ජීවන දර්ශනය, සදාචාර දර්ශනය ද එමඟින් සුසමාදර්ශ මාරුවකට ලක් කරන බව ය. ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්‍රික්ස් පවසන ආකාරයට අමරේ ප්‍රශ්න කරන්නේ අපගේ ශිෂ්ටාචාරය තුළ මේ වෙනස සිදුවූවා ද යන පැනයයි. “යාළුවේ කෝ අපේ වෙණ තත?”

හමුවෙද අපේ වෙණ තත

හද සිඳින්නට ඊ විද්ද ඔහු

හද බිඳින්නට වෙණ වයා ඇත

යාළුවේ කෝ අපේ වෙණ තත

ඊ වැකුණ හද සනසවන තත

හමුවෙද අපේ වෙන තත කෘතියේ එන “තාත්තාගේ හුණුපාර” (පිටුව 34) මා ප්‍රියතම කාව්‍යයකි. එහි ඇත්තේ තර්කයෙන් පැහැදිලි කළ නොහැකි අපගේ පැවැත්මේ මානයයි. එය අපගේ හදවතට දැනෙන යමක් පවසන මුත් එය වචනය නැගීම ඉතා ම අසීරු ය. එකව කියවීමට මම ඔබට ආරාධනා කරමි.

හෙවණැල්ල වී පවතිමි කෘතියේ එන “සිංහ ශෝකය” සහ “ඉන්න සහ මම” කාව්‍ය ද බහු අරුත් නන්වන සුළුය. දහම් පාසල් තුළින් මෘදු ගති වෙනුවට සිංහ රෞද්‍ර ගුණ වගාවක නිරත වීම සිංහයාට ද ශෝකය උපදවන්නකි.  

සිංහ ශෝකය

සිංහයන් වී ගෙදර එන විට

දහම් පාසල් ගිය ළමයි

මෙත් බිඳුණ ලය හී වැදුණ සේ

මගේ කවි සිත සලිත වේ

ඉන්න යන වචනයෙන් නැගෙන බහුඅරුත් කාව්‍යකට මඟපාදාගෙන ඇති අකාරය ඇතැම් විට අමරේ නිදහස් වෙලාවට ගෙවතු වගාවේ යෙදෙන්නෙක් ද වන බැවින් සිදුවන්නට ඇත්තකි. කාව්‍ය බිහිවිය යුත්තේ එලෙස ය. අප කරනා දෙයින්, නිරත වන දෙයින් මතුවන විට කාව්‍ය අත්කරගන්නා සුන්දරත්වය බොහෝ විට වචනයට නැගීම අසීරු ය. බුද්ධිවාදී කවිය මෙකී නිරතවීමෙන් ඇත්වේ.   

ඉන්න සහ මම

ඉන්න පමණක් නොව

ඉන්නේ වැල සමග

මමද “ඉන්නේ” වෙමි

ඉන්න හා වැල ළඟ

තණ පැළ ඉවත ලමි

ඉන්නේ ඉන්න බැරි

කරවිල රිකිල්ලට

තිබ්බටු ගස වෙතට

නැවෙන්නට ඉඩ නොදෙමි

මහ සිහිනයක මිහිරි කරදර හී එන “උදලු/හැදි හා කටුගෙය” අප මනුෂ්‍යයන් උපකරණ ලෙස සැලකීමට පුරුදු වීම පිළිබද අදහසක් මතු කරයි. කවියේ කථකයා ඔහුව හමුවීමට පැමිණෙන අය ගැන කණගාටුවෙන් ඇත්තා සේ ය. බොහෝ විට ඔහු මුණ ගැසෙන්නට එන්නේ ඔහුගේ කීර්තිය නිසා විය හැකි ය. මේ නිසා ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රයෝජනයක්, උපයෝගීතාවයක් නොමැති අනන්‍යතාවයක් ලබා ගැනීමට ය. නමුත් මෙවැනි අනන්‍යතා ඇත්තේ බොහෝ විට පුරාවස්තුවලට ය, එනම් අභාවිතයට ගිය දේහි ය. කවියන් යනු විශේෂයෙන් ම, උපයෝගීතාවාදය පිටු දකින්නන් ය. අමරේ තුළ ද මේ උපයෝගීතා විරෝධියා සිටින බව පෙනෙන්නට ඇත. 

උදලු/හැදි හා කටුගෙය (50 පිටුව)

මට උදැල්ලක් විය නොහැකි ද

බිම් පෙරළිලි නොමැති

උදෑලූ ගැවිලි නැති

නොකෙරෙන පස් කැපිලි

ගොවියන් නොමැති ලෝකෙක?

මෙවැනි අනන්‍යතා අත්හරින අතර ඔහු වෙනස් ආකාරයක පැවැත්මක් යෝජනා කරයි. එම කවි පොතේ ම එන “මං නිකං මිනිහෙක්” එවැන්නකට නිදසුන් ය. අද තමන් කරන දෙයට කැපවුණ මිනිසුන් සිටින්නේ ඉතා ම අඩුවෙනි. අපට මිනිසුන් ආදරය කරන්නේ, අප අනෙකාගේ ගෞරවය ලබන්නේ අප විසින් මහන්සියෙන්, කැපවීමෙන් ගොඩ නගන ආචාර ධර්ම පද්ධතිය වෙත ය, අපගේ කැපවීමට ය, අප ගොඩ නගන දර්ශනීය රටාවන්ට ය, අප ගොඩ නගන නව තාක්ෂණයන්ට ය. මූලික ම දෙයක් වන්නේ තමන් කරන දෙයට කැප වීමයි. අමරේ මා සිතන සැටියට තමා කරන දෙය එනම් කවිය, කෙටිකතාව, නවකතාව, පරිවර්තනය වැනි දේවලට කැපවී සිටී. එයින් බැහැර දේ කිරීමට ඔහු අලසය. මේ අලසකම අන්ධ උද්යෝගයට වඩා යහපත් ය. මෙයින් අපට යම් ආකාරයකින් මතක් කරන්නේ හර්මන් මෙල්විල්ගේ බාර්ට්ල්බී ය. මේ නවත ම බාර්ට්ල්බී කෙනෙකි. ලංකාව පමණක් නොව, ලෝකයේ ම නූතන තත්ත්වය සම්බන්ධයෙන් මෙය අදාළ ය.

මං නිකං මිනිහෙක්

අනේ මං අලසයෙක්

නිදියන දවල් නින්දක්

අතින් ගෙන පොතකුත්

කවියක් හෝ කතාවක්

පැලඳ ටයි පටියක්, කබායක්

පරම පිවිතුරු නැෂනලයක්

රට හදන්නට දරන වෙහෙසක්

කෙනෙකු වෙන්නැයි මටත් කියතත්

එවන් නැවතුණ එකෙක් දෙන්නෙක්

කියන කවි පද නොමැති රටකට

කුමක් වේදැයි බයෙන් සැකයෙන්

අලසයෙකු සේ දවල් නිදියමි

හවස ඇවිදිමි

කවිද කියවමි

සමකාලීන සමාජය වෙලී ඇති ස්වරූපරාගය, අත්මාවදී උගුල, ආදරය පාරභෞතිකත්වයකට එසවීමට විරෝධය පාන කාව්‍ය ද අමරේගේ කවි මගෙහි ඇත. මේ එවැන්නකි.

20 එකම දේ (සෙවණැල්ල වී පවතිමි)

එක ම වෙලාවට එක දේ මනසට ඒම

ආදරයේ විස්මයකියි සැනසීම

එකම චක්කරේ සිර වී දිවි ගෙවුම

එපා වී සිතන සිතුමකි දනිමි මම

එයින් උදම් වී චක්‍රය බිඳිමු අපි

මෙහිලා අපට සොරෙන් කියෙකගාර්ඩ්ගේ මහජන පරිමණ්ඩලය නමැති අදහස යොදා ගත හැකිය. (මෙය ලාංකේය දේශපාලන න්‍යාය තුළ ජයදේව උයන්ගොඩ, Jurgen Habermas ඇසුරෙන් ගොඩ නැගූ මහජන පරිමණ්ඩලයට වඩා වෙනස් අදහසකි, හබර්මාස්ගේ අදහසේ බීජයන් ඇත්තේ මෙහි විය යුතුය.)

මේ මහජන පරිමණ්ඩලය යනු මිනිසුන් තමන්ට කිසිසේත් අදාළ නොමැති, සහ තමන්ට කිසිදු බැඳීමක්, වගකීමක්, වගවීමක් නොමැතිව ඒ ඒ කාලවල දී මතුවන විවිධ බාදාවීම්වලට (Distractions) ප්‍රශ්නවලට සහ නොයෙකුත් දේවලට දක්වන හුදු ප්‍රතිචාර දැක්වීමේ අවකාශයකි. මෙකී අවකාශ ඔහුගේ යුගයේ නම් ප්‍රවෘත්ති පත්‍රයයි. ඔහුගේ අදහස වන්නේ මිනිසුන් මෙවැනි මාධ්‍යයන් ඔස්සෙ කරන අතෝරක් නැති සංවාදවල ශරීරයක් නොමැති බවයි. මිනිසුන් සාකච්ඡා කළ යුත්තේ මුහුණට මුහුණ ය. මෙම මහජන පරිමණ්ඩලය මේ නිසා ඔහු දකින්නේ ශරීරයක් රහිත, අමූර්ත අදහස් ඇති, මුහුණු රහිත සමාජයක් ලෙස. උත්ප්‍රාසාත්මකව අපගේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වන්නේ: මුහුණු පොත, සහ X ය. මෙම මහජන පරිමණ්ඩලයට සෑම දෙයක් පිළිබඳ ම අදහස් සහ විනිශ්චයන් ඇති නමුත් ඒ අදහස් පිළිබඳ වගකීමක් හෝ සැබෑ හැඟීමක් නැත. (අතට හවුවන හැම දේට ම අද මිනිසුන් කමෙන්ට් දමයි, ලයික් දමයි, ශෙයා කරයි.)  සියල්ලන්ට ම මෙවැනි වගකීමක් නැති අදහස් තිබේ. ඔවුන් ඒවා ක්‍රියවට නැන්වීමට කිසිදු බැඳිමක් නැත. සමාජ මාධ්‍ය යුගයේ මෙය හඳුන් වන්නේ “pile-on” “trolling” වැනි පදවලින් ය. කියෙකගාඩ් අපූරු චින්තන-පර්යේෂණයක් අපට ඉදිරිපත් කරයි: Suppose someone invented an instrument, a convenient little talking tube which could be heard over the whole land ― I wonder if the police would not forbid it, fearing that the whole country would become mentally deranged if it were used. In the same way, to be sure, guns are prohibited.

මෙකී මහාජන පරිමණ්ඩලය පාලනය වෙමින් තිබෙන්නේ විශාල අල්ගෝරිදමයකින් ය. මෙය සකස් කර ඇත්තේ අපට ඇබ්බැහි කළ හැකි දේ  වෙත අපව ක්ෂණිකව නිරාවරණය වන පරිදි ය. ඉතාම පුදුම සහගත ලෙස දේශපාලන කැමැත්ත, ආහාර රුචිය, කියවිය යුතු සාහිත්‍ය, ඇසිය යුතු සංගීතය, බැලිය යුතු චිත්‍රපට, ආයෝජනය කළ යුතු වෙළඳ පොළ, ගමන් කළ යුතු ගමනාන්ත, සංචාරය කළ යුතු ස්ථාන, පැළඳිය යුතු ඇදුම් පැළඳුම්, සිකුරාදා දිනය ගත කළ යුතු අයුරු, වදවිය යුතු ලෙඩ රෝග, සහ කළ යුතු සායනික පරීක්ෂණ, වන්දනා කළ යුතු දර්ශනය, යනාදී සියල්ල අපට මෙම අල්ගොරිදමය මඟින් යෝජනා කෙරේ. ඉහත පැවසූ පරිදි අප ද එය විශාල නොවැදගත් සහ අපිළිවෙළ දත්ත හුවමාරු කිරීමෙන් පෝෂණය කෙරේ. මේ සියල්ල සිදු වන්නේ  අපේ ජංගම දුරකථනය, අලුතින් වෙළඳ පොළට එන වාහන, සහ ශීතකරණ, පරිගණක නිරන්තරයෙන් අපගේ රුචි අරුචිකම් පිළිබඳ සෝදිසි කරමින් සිටින පසුබිමක ය.  නිදසුනක් ලෙස පසුගිය දිනවල බාබි චිත්‍රපටය බැලීමට මිනිසුන් රෝස පැහැයෙන් සැරසී සිනමා හල් වෙත ගොස් තිබුණේ ‘කලින් කතා වෙලා’ වගේ ය. ඔබට ඔලුව කැක්කුමක් සැදුණු විට ඒ හා සම්බන්ධ විය හැකි සියලු සේවාවන්, රෝග තත්ත්වයන් ක්ෂණිකව අප වෙත යෝජනා කෙරේ. අපගේ ශරීරයේ ස්පන්ධනය පවා අප ඩිජිටල් අත්ඔරලෝසු වෙත දත්ත ලෙස මුදා හරිමින් ඇත. කිසිවෙකු යමක් අන්තර්ජාලයෙන් සෝදිසි කරන විට එය අනෙක් අයට ද යෝජනා වේ. සියලු දෙනා ම එක විට පැනික් බයින් කරයි.  විවිධ වූ ආශාවන් වෙනුවට හැමදෙනාට ම ඇත්තේ සමාන ආශාවන් ය. හැමෝම අලුම් කරන්නේ එක ආකාරයේ භාණ්ඩවලට ය. කියවිය යුතු සාහිත්‍ය කුමක් දැයි තීරණය කරන්නේ මේ ඇල්ගොරිදම් එක ය. කොටින් ම සාහිත්‍ය යනු කුමක් දැයි එය තීරණය කරයි. රසිකත්වය සමාන කර ඇත. කොටින් ම අප වාසය කරන්නේ සියලු දේ සමතලා කරණ ලද සමානභාවයේ අපායක ය.  ප්‍රජාතන්ත්‍රවාදය දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපෘති තුළින් manipulate කරමින් තිබේ. ට්‍රප්ම්ප් වැනි නායකයන් බලයට පැමිණීම සිදු වන්නේ Social Media influencers ලා පෙරටු කරගෙන ය. එලන්මස්ක් ඔහුගේ දකුණු අත වූයේ X සමාජ මාධ්‍යයේ අයිතිකරුවා වෙමින් වන අතර තරුණ පරම්පරාව ඔහුවෙත ආකර්ෂණය කරගැනීමට influencers විශාල ප්‍රමාණයක් යොදවා ඇත. මේ කියන “එකම චක්කරේ සිර වී දිවි ගෙවුම” හුදු අහම්භයක් හෝ පාරභෞතික යමක් නොව, අප අද ජීවත් වන ඩිජිටල් ලෝකය විසින් අනිවාර්ය කරන ලද්දකි. මේ චක්‍රය බිදිය යුත්තකි.

-කුසල් කුරුවිට

Blog article by

Share on

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Categories