(2024-12-03 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ පැවැත් වූ ‘විචාර සංවාද 15’ වැඩසටහනේ දී පද්මිණි ශ්‍රියාලතා සහ චින්තරක සමන් හේරත්ගේ කාව්‍ය සංග්‍රහ පිළිබඳ කළ කථාව ඇසුරිණි)
ලාංකේය කාව්‍ය විචාරය සහ ඒ පිළිබඳ එදිනෙදා කතා බහේ දී කාව්‍ය හඳුන්වන ආකාරය අන්තර්කරගත කරගැනීමේ එකකට වඩා බැහැර කිරීමේ එකකි. ඇතැමුන් නිසදැස් බැහැර කරයි, නිසදැස් වැළඳ ගන්නා තවත් අය කෙටි කවි බැහැර කරයි, ඇතැමෙක් නිසදැස් හා කෙටි කවි සියල්ල බැහැර කර විරිත් වැකි පමණක් (ගුණදාස අමරසේකර) වැළඳ ගනී. කෙටි කවි අගයන ඇතැමෙක් හයිකු කවි විදේශීය ආක්‍රමණයක් යැයි සිතන අවස්ථා ද අතැම්විට දැක ඇත. ඒ අනුව බොහෝ කාව්‍ය විචාරයන් සිඳු වන්නේ විචාරය සිඳු කරන්නා මුලින් ම සතුරෙක් උපකල්පනය කිරීම සමඟ ය.
මගේ උවමනාව වන්නේ සතුරෙකු උපකල්පනය කිරීමේ මෙම බැහැර කිරීමේ නිර්වචනයක් වෙනුවට, කාව්‍ය සඳහා අන්තර්ගත කරගැනීමේ නිර්වචනයක් සොයා ගැනීමයි. එමඟින් අප හමුවේ ඇති කාව්‍ය කෘති දෙක වන පද්මිණී ශ්‍රියාලතාගේ සහ චින්තක සමන්හේරත්ගේ කාව්‍යට ප්‍රවේශවීමේ මර්ගයක් ගොඩනගා ගැනීමයි. අප අන්තර්ගත කරගැනීමේ නිර්වචනයක් සොයාගත යුත්තේ මන්ද යන පැනය දීර්ඝව කතා කළ යුතු එකක් වුව ද එය දැන් අපගේ මාතෘකාව නොවේ.
කෙටියෙන් කාව්‍ය පිළිබඳ මගේ අන්තර්ගත කරගැනීමේ නිර්වචනය වන්නේ ‘කාව්‍ය යනු මිනිසාගේ ලොව තුළ පැවැත්ම භාෂාත්මකව ග්‍රහණය කරගැනීම’ බවයි.
මිනිසාගේ පැවැත්ම සද්භාවවේදී ලෙස කාව්‍යාත්මක වන අතර මේ කාව්‍යාත්මක පැවැත්ම ග්‍රහණය කරගත හැක්කේ විද්‍යාත්මක හෝ එදිනෙදා භාෂාවට වඩා කාව්‍යාත්මක භාෂාවකට ය.
දැනුම සහ සමාජීය ජීවිතයේ අවසාදිත සියල්ලට යටින් සැඟවී ඇති සංජානන ලෝකය නැවත ජීවයට ගෙන ඒමට කවියෝ උත්සාහ කරති; තවද කාව්‍ය මඟින් අපගේ නෙත් ඉදිරියේ ලේවගුරවමින් තිබෙන සජීවී අත්දැකීම් නමැති ලෝකයට අපව තල්ලු කරති. ඔවුහූ හුදෙක් භාෂාත්මක කතාවක් නොකියන අතර, ඒ වෙනුවට භාෂාත්මක ප්‍රබල සිදුවීමක් (Event) ගොඩ නගයි. එහි දී සිදු වන්නේ භාෂාත්මකව ලෝකය අනුකරණය කිරීම වෙනුවට ඊටම අයත් ලෝකයක් බිහි කිරීමකි.
නිදසුනක් ලෙස පද්මිණී ශ්‍රියාලතාගේ ‘එය අළුපැහැති කවුළුවකි’ කෘතියේ එන ‘කෝපි මල් සුවඳ’ නමැති කව බලන්න:
“සෙත් පිරිත් දාන බණ නැති
අළු බිඳක් දකින්නට නැති
අවසන් වරට යැයි දුටු
මතකයක් වත් නැති
ඔබේ අවසන් සුසුම් පොද
වහා දිවැවිත්
මා කොපුලත ඇතිල්ලේ යැයි
සිහිනයේ ගිලෙමින්
පොල් ගහට පිට දී
දෑස් පියවමි මොහොතක්”
(මෙය එකවේ අවසන් කොටසයි)
හොල්ඩර්ලින් වරක් ලීවේ: Full of merit, yet poetically, man Dwells on this earth. කියා ය. මනුෂ්‍යයා වාසය කරන්නේ කාව්‍යත්මකව ය. මෙයින් මනුෂ්‍යයාගේ හැම චර්යාවක් ම කාව්‍යාත්මක යැයි කියවෙන්නේ නැත. නමුත් ඒ වෙනුවට, මෙයින් අදහස් කරන්නේ වාසය කිරීම වාසය කිරීමක් වන්නේ කාව්‍යාත්මක බව නිසා බව ය. අපට වාසය කිරීමට අවකාශ ලබා දෙන්නේ කාව්‍යාත්මක බව ය.
මනුෂ්‍යයා ස්වභාවික වස්තූන්ගේ ලෝකය වෙනුවට ඔහුගේ ලෝකයක් තනා ගනී. ස්වභාවික වස්තූන්ගේ ලෝකයට වා පොදක් ඔක්සිජන් අනුවක් වුව ද මනුෂ්‍යයාගේ ලෝකයට එය කාගේ හෝ ‘අවසන් සුසුම් පොදක්’ විය හැකි ය. ලෝකයත් එක්ක අත්‍යන්තයෙන් බැඳී සිටින මිනිසාට ලෝකය සහ ඔහු අතර පරතරයක් පෙනෙන්නේ නැත. ඇය ඉන්නේ ලෝකය සමඟ දැඩි ගනුදෙනුවක ය. ලෝකය යනු අරුත් සුන් අනුකමය දෙයක් නොව, අරුත් සහගත යමකි. එම අරුත් අප විසින් ලෝකයට පෙව්වා යැයි කියනවාට වඩා ලෝකය අරුත් දරා සිටින දෙයක් යැයි කිවිදිය අපට කියන බවක් හැඟවේ.
පිටුපස දොරෙන් පිවිසෙමි
නිවස්නය දෙස
නෙතු නොසලා බලා හිඳිනා
උස් මිටි ගස්වලින් යුතු
කුඩා බිම් තීරුව වෙත
නිවහනට නුදුරුම උස් ගස
තවමත්
ගෙයි පියස්සට ඉහළින්
දෑත් දිගු කර
රැකවළෙහි යෙදෙන අතරය
මගෙම පියසටහන් වලින් පෑදුණු
අඩිපාර ඔස්සේ
සෙමෙන් පිය ඔසවමි
මේ දැන් ගසින් වට
පනා කොස් ගැටයකි
පුවක් ගෙඩියකි
‘කටස්’ ගා පයට පෑගෙන
වියළි දර ඉපලකි
වේ ගුලට ළය දී
දිරා යන ලී කැබැල්ලකි
පොල් අතු පාලමෙන්
යුහුයුහුව එතෙර වන
රතු දිමි කුහුඹු රෑනකි
‘ඇට්ටේරියා පඳුරේ
තුරුණු පත් අතපත ගා
ඉගිල යන මඳනල
මා අසලම අතහළ
කෝපි මල් සුවඳකි
කිවිදිය මෙහි දී යම් ආකාරයක ප්‍රපංචවාදී විස්තරයක නිරත වෙයි. ඇය ඈ වටා ඇති ලෝකය විස්තර කරයි. මෙහිලා සාම්ප්‍රදායික විචාරකයෙක් මෙසේ කිව හැකිය: ඇය ඇගේ හිතේ ඇති ශෝඛී හැඟීම, හුදෙකලාත්මක හැඟීම නැත්නම් වියෝවේදනාව නැත්නම් කොටින් ම ඇගේ ඇගේ අභ්‍යන්තර මානසික ලෝකය ඇගෙන් එළියේ ඇති ලෝකය වෙත ප්‍රක්ෂේපනය කරමින් යම් ආකාරයක මනෝවෘත්තියක් හෝ මනෝභාවක් (mood) භාහිර ලෝකය වෙත යොමු කරයි.
සාම්ප්‍රදායික කාටිසියානු දර්ශනය තුළ ද මනෝභාවය යන්න සලකන්නේ මානසික අභ්‍යන්තරික ක්‍රියාවලියක් ලෙස ය. මා දුකින් සිටිනා විට මගේ අවට ලෝකය ද දුක්බර වේ. මා සතුටින් සිටිනා විට මගේ අවට ලෝකය ද සතුටින් බැබලේ යැයි යමෙක් කියයි. ‘හිරු එළියේ නැහැවී නටන තුරුපත්’ යැයි කිසිවෙකු ලියන විට එය මගේ මානසික අභ්‍යන්තරිකත්වයේ පිළිඹිබුවක් ලෙස කියනු ලැබේ.
මෙකී අදහසට හාත්පස වෙනස්ව, අපට කිවිදිය හඟවනු ලබන්නේ මා විසින්, නැත්නම් මෙකී කවියේ සිටින තැනැත්තා හෝ තැනැත්තිය විසින් තමන්ව ශෝඛී සහ හුදෙකලාව රජයන පරිසරයකට ඇතුළත් කරගන්නා අයුරයි. එකී ශෝඛී හැඟීම පරිසරයට මේ තැනැත්තා විසින් එන්නත් කළ යමක් නොවන අතර ඇය එකී පරිසරය හෝ වටපිටාව වෙත පියමැන ගිය වහා ඇය වෙත කඩා පනින දෙයක් ලෙස ය.
අපි ඇතැම් විට කල්පනා කරන්නට, පොතක් කියවන්නට, ඇස්වලට විවේකයක් ගන්නට, ඇතැම් විට තැවෙන්නට යම් සුවිශේෂී ස්ථානයක්, පරිසරයක් තොරාගනී.(මෙය යම් ආකාරයක වරප්‍රසාදයක් ද විය හැක) මන්ද එකී වටපිටාව විසින් අපට එකී නිදහස, නැත්නම් ඉහත කී මනෝභාවය අපට ප්‍රදානය කරන නිසා ය. නැත්නම් අපිරිසිදු, හැඩිවුණ තැනකට ගිය විට අපට යම් කරදරකාරීත්වයක් දැනේ. කනත්තකට අදුරේ ගිය විට බයක් දැනේ, පන්සලකට කෝවිලකට ගිය විට යම් ශාන්තියක් දැනේ. (ගුණදාස අමරසේකරගේ ‘කතරගම’ නමැති කාව්‍යක් මෙහිලා සිහිවේ). ඒ අනුව අප වෙත මෙකී මනෝභාවයන් නමැති දෙය කඩා වද්දන්නේ බාහිරින් ය. එවිට අපට හීන් දාඩිය දමයි; හදගැස්ම වැඩේ; කඳුළු සැලේ; සංගීතවත් පරිසරයක දී අත්පා තාල තැබේ; ඇස් බැබලේ; අතුල් පතුලින් දහඩිය සැලේ; ශරීරය නමැති ආත්මය බාහිර ලෝකය සමඟ අනුනාද වේ.
‘කෝපි මල් සුවඳ’ කවියේ දී ගේ පිටුපස දොරෙන් උස් මිටි ගස්වලින් යුතු කුඩා බිම් තීරුව වෙත පිවිසෙන තැනැත්තියකට ‘සුසුම් පොද’ මුණ ගැසෙන්නේ ද මෙලෙස ය. සුළං රොද කාගේ හෝ සුසුම් පොදක් මෙන් ආග්‍රහණය වී එක විට ම ශරීරය පණනැති කරන වේදනාවකින් හද පුරවයි.
‘ඔබේ අවසන් සුසුම් පොද
වහා දිවැවිත්
මා කොපුලත ඇතිල්ලේ යැයි
සිහිනයේ ගිලෙමින්
පොල් ගහට පිට දී
දෑස් පියවමි මොහොතක්’
මේ බිම් තීරුවට, මේ කියන සුළං රොදට අඩන්නට සිටින අයෙකුගේ ඇහැට ඇගිල්ලෙන් ඇනීමේ හැකියාව ඇත්තේ නොවේ ද?
අනෙක් අතට දුක වේදනාව, ආදරය, උදාසීන බව, සතුට කෙතරම් ශාරීරික ද? තමන්ගේ ළබැදියෙකුගේ වියෝව ශරීරය අඩපන කරන, කදුළු සලවන, නෙත් පියවන දෙයක් නොවේ ද?
අර්මේනියානු කවියෙක් වන ජෝර්ජ් එමින් වරක් වියෝව ගැන ලීවේ යුද්ධයේ දී දෙපා අහිමි වුණ සොල්දාදුවෙක් රෑ මැද අවදිවී තමන්ගේ දෙපා සොයන්නා සේ වියෝ වුණු ආදරය සොයන බවය.
මේ අපේ කාව්‍යාත්මක පැවැත්මේ එක පැති කඩකි. අපට දුක වැනි පොදු හැඟීම් ඇත. ඒවා පෞද්ගලික නැත. ඒවාට සහජාසය ලබාදිය හැකි පරිසරයක් ද අප ගොඩ නගා ගනී. කාව්‍ය කියන්නේ ද එවැන්නකි.
හයිඩෙගර් අපට මෙසේ පවසයි: poetry first causes dwelling to be dwelling. Poetry is what really lets us dwell. But through what do we attain to a dwelling place? Through building. Poetic creation, which lets us dwell, is a kind of building.
කාව්‍ය යම් ආකාරයක නිවස්නකි. එය අපගේ පැවැත්මට නිවස්න සපයයි. අපේ පැවැත්මේ සහ ලෝකයේ ඇති දෛනිකත්වය, අතිසාමාන්‍ය භාවය අතරට අපූරු බවක් ගෙන දෙයි. එමඟින් අපේ පැවැත්මේ සැබෑ ස්වරූපය අපට අනාවරණය කරයි.
‘ළිං තලය මත
වැටෙන විට වැහි බිඳු
වරක් උඩපැන
අත් පොලසන් නඟයි
පැරණි ළිං දිය’
මෙය එවැනි දේවල්වල දෛනිකත්වය තුළ ඇති අපූරු බව අනාවරණය කරන කාව්‍යයකි. මෙවැනි කාව්‍යයකට අරෝපණය කළ හැකි අර්ථ ඔනෑ තරම් ය. කාව්‍යක සංදිග්ධ බව වන්නේ එයයි. කාව්‍යක් සංදිග්ධ වනවා යනු අපට වටහා ගැනීමට නොහැකි දෙයක් කියනවා නොව, ඒ වෙනුවට අර්ථය විවෘත්තව තැබීමකි. සෑම හොඳ යැයි කිව හැකි කාව්‍යකට එහි අර්ථය බොහෝ විට පැමිණෙන්නේ අනාගතයෙනි. මන්ද කාව්‍ය යනු අප දැනටමත් දන්නා සත්‍යයක් පැවසීමක් නොව, ඒ වෙනුවට මොරිස් මලේපොන්ටි අනුගමනය කරමින් කිව හැක්කේ, පෝල් සෙසාන්ගේ සිතුවමක දී මෙන් කාව්‍යයකින් නිරූපණය කරන්නේ පැවැත්මට පැමිණි සත්‍යයක් නොව, පැවැත්මට පැමිණෙමින් තිබෙන සත්‍යයකි.
නිදසුනක් ලෙස මෙම සිතුවම් බලන්න:
(Roads along the road – Paul Cézanne)

(Lac d’Annecy (Lake Annecy) – Paul Cézanne)

මෙම සිතුවම් සාම්ප්‍රදායික impressionist සිතුවම්වලින් වෙනස් වන්නේ චිත්‍ර ශිල්පියා භූමිදර්ශනයේ තොරා ගත් එක් පැතිකඩක් වෙනුවට යථාර්ථයේ ඇති පැතිකඩවල් රාශියක් ග්‍රහණය කරගැනීමට කරන තැතින් ය. මේ නිසා සිතුවම තුළ ඇත්තේ නිශ්චිතතත්වයකට වඩා අවිනිශ්චිත බවකි. මේ නිසා අපට මේ සිතුවම් එක් ප්‍රබල පැතිකඩක් සහිතව එක විට ම දෑසට ග්‍රහණය කර ගත නොහැකි ය. ඒ වෙනුවට චිත්‍රය තුළ ඇති එක් වස්තුවකින් තවත් වස්තුවක් වෙත ගමන් කළ යුතු කාලයක් නිර්මාණය වී ඇත. කොටින් ම සිතුවමේ ඇති වස්තූන් ‘පැවැත්මට තවමත් පැමිණෙමින්’ තිබේ.
මෙවැනි කාව්‍ය හෝ සිතුවම් ගැන විවිධ අර්ථ කථන දිය හැකි නමුත් එය එම කාව්‍ය යම් ආකාරයකින් උණනය කිරීමක් වනු ඇත. මේවා කොටින් ම එක් අර්ථ කථනයකට උණනය කළ නොහැකි ය. ඒ වෙනුවට ඒවා අනාගතයෙන් එන අර්ථ කථන වැළඳ ගනු ඇත.
දැන් මේ කවිය සලකා බලමු. මේ මෙම කෘතියේ පළමු කවියයි.
කඩි ගුල
සීත කාලය
ළඟ ළඟම බව පවසන
ගෙපැලෙහි
අත්තිවාරම කණින
දහස් ගණනක කඩි ගුල
උනුන් හා මුමුනන
ෂ්..ෂ්…ෂ්.. හඬ
වළක්වාලයි
අළු අහුර රැඳුන අත.
කඩි ඔවුන්ගේ නිවස තනමින් ඉන්නේ ගෙපැලේ අත්තිවාරම කනිමින් ය. කේන්ති ගිය කථකයා කඩින්ට අළු ගසන්නට යයි. කෙසේවෙතත්, මේ කථකයාගේ අත ඉඹෙම නවතියි. කිවිදිය අප හමුවේ රඟ දක්වන්නේ කුඩා නාට්‍යමය සිදුවීමකි. අපේ පැවැත්ම සහ එය එහි පසුබිමත් එක්ක දක්වන ආතතිය කාව්‍යට නැගෙන්නේ මෙලෙස ය.
කඩි ගුලට අළු ගහන්න යන අත වළක් වන්නේ මේ කියන ෂ්..ෂ්..ෂ්.. මුමුනන හඬ ය. එය කාගේ හඬක් ද? කුමක් හෝ ආගමික හඬක් ද? නැත්නම් ඒ තැනැත්තාගේ මනස අභ්‍යන්තරයේ ඇසෙන හඬක් ද? මේ වගේ ප්‍රශ්න අප අහන්න පටන් ගන්නේ මිනිසුන්ගේ දෛනික ක්‍රියාවලිය පිළිබඳ කිසිදු අදහසක් නැති විට ය. මිනිසුන්ගේ සාංදෘෂ්ටික නැත්නම් පැවැත්මට තදින් ගැටගැසුනු කාව්‍යාත්මක බව මෙම ප්‍රශ්නවලින් විමිසිය නොහැකි ය. මිනිසුන් එදිනෙදා ජීවිතයේ ජීවත් වන කන බොන ඉදින හිටින හැම ක්‍රියාවක දී ම මෙවැනි ප්‍රශ්න අසමින් ඒවා නොකරයි. නමුත් ඔවුන් ඒ ඒ වෙලාවට කළ යුත්තේ කුමක් දැයි හොඳින් දනියි.
තරහක් ආ අයෙකු අළු අහුරක් අතට ගත්ත ද, එවැනි දේ කිරීමේ හුරුවක් නැති අත ඇයව වළකයි. ඇයව වළක්වන්නේ ඇගේ විශ්වාස පද්ධති හෝ ගුණධර්ම නොව, ඇගේ ශරීරයට පුහුණුකළ දෙය ය. ඇගේ ශරීරය ආත්මයක් සේ සිතන්නා සේ ය. ඇතැම් විට මේ රචනය ලියන මගේ අත මේ ලියමන ගොතනවා විය හැකි ය.
The Hand reaches and extends, receives and welcomes- and not just things: the hand extends itself, and receives its own welcome in the hands of others. The hand holds. The hand carries. The hand designs and signs, presumably because man is a sign… the hand’s gestures run everywhere through language, in their most perfect purity precisely when man speaks by being silent. And only when man speaks, does he think- not the other way around, as metaphysics still believes. Every motion of the hand in every one of its works carries itself through the element of thinking, every bearing of the hand bears itself in that element. (Martin Heidegger)
මේක තමයි එදිනෙදා ජීවිතයේ ඇති නිරාවර්ණිත බවින් වැසුණු පැවැත්ම. මෙය ටිකක් සංදිග්ධ කියමනක් වෙන්න පුළුවන්. සරලව එදිනෙදා ජීවිතය යමක් නිරාවරණය කළ ද , නැත්නම් පෙන්නුව ද, ඒ සමඟ ම ඉතා ම සුලබ දෙයක් එමඟින් වසාගනී. අප එදිනෙදා කටයුතු කරන්නේ පාරදෘශ්‍ය ලෙස ය. මේ පාරදෘශ්‍ය බව නිසා අපට නොදැනී, නොපෙනී යන දේ බොහෝ ය. කලා නිර්මාණ කරන්නේ ඇතැම් විට මේ නොපෙනී යන දෙය අනාවරණය කිරීම ය. හයිඩෙගර් අනුගමනය කරමින් මට කිව හැක්කේ කලා නිර්මාණයක් කරන්නේ දැනටමත් විවෘත්ත වූ තැනක් පළා අනාවරණය කිරීමක් ලෙස ය.
අපි චින්තක සමන්හේරත් දෙසට හැරුණොත් ඔහුගේ ද මනුෂ්‍ය පැවැත්මේ මෙම තර්කයෙන්, නිශ්චිතව පැහැදිළි කළ නොහැකි කාව්‍යමය අඩවිය ගැන කවි ගෙතී ඇති හැටි දැක ගත හැකි ය.
‘මං විශ්‍රාම යන දවස’ කාව්‍ය සේවකයෙකු තමන්ගේ විශ්‍රම දිනය සහ එදිනට තමන් කළ හැකි දේ ගැන කල්පනා කරයි. කවිය අවසාන වන්නේ
‘මගෙ ආත්මය දුම්රියේ
ආපහු වැඩට එනු ඇති’ කියා ය.
අපි ඒ කවිය මුල සිට කියවමු
මං විශ්‍රාම යන දවස
කොයි වගේ දවසක් වෙයි ද?
හැන්දෑ වෙන්ට කලියෙන්
සිහියෙන් ගෙදර එන්නැයි
නොකරාවි තරවටු
බිරිඳ හිටියොත් එදිනට
මාත් එක්ක ම පැත්තක
ස්තූති කතා අහගෙන
සිනහ ගන්වා යටි සිත
සුබා මිස් හිඳීවි තනියට
ඈත ඉස්සර දවසක
අපි දෙන්නා රස්සාවට ආවේ එකට
කයිකතන්දරත් හැදුණා
පෙළක් කාලවල්වල අපිට
රෑ දොගොඩහරි වෙන තුරා
සාදයක් පැවැත්වෙනු ඇති
විස්කි වීදුරු හැපි හැපී
ජීවිතේ මිමිනෙනු ඇති
කාගෙ හරි වාහනයකින්
මං ගෙදර ඇරලනු ඇති
පසුවදා ඉස්ටේසමේ
පුරුදු පරිදිම දුම්රියක්
මාව ගෙනයන්නට ඇති
යමෙකු මයෙ අත්පා බැඳ
වියරුවෙන් හිනැහෙනු ඇති
ඒත් මා ප්‍රිය සගයිනි,
මගෙ ආත්මය දුම්රියේ
ආපහු වැඩට එනු ඇති
මා පෙර කියූ පරිදි මේ වෘත්තිකයා හෝ ශ්‍රමිකයා ඉතා ම රැකියාව සහ තමන්ගේ වටපිටාව සමඟ සමීපව බැඳුණු ජීවිතයක් ගත කළ තැනැත්තෙකි. මෙවැනි විටක දී අපට රැකියාව සහ අපගේ සමස්ථ ජීවිතය එකක් බවට පත් වනු ඇත. හරියට වඩුවාගේ මිටිය ඔහුගේ අතේ දිගුවක් වන්නේ සේ, රියැදුරෙකුගේ රථය ඔහුගේ ශරීරයේ දිගුවක් වන්නා සේ, ගෘහපාලිකාවක ඇය පාලනය කරන නිවස බවට පත් වන්නා සේ වෘත්තිකයා සහ රැකියාව අතර ඇති බෙදුම් රේඛාව මැකී යයි. මෙකී සම්බන්ධයේ ප්‍රශස්තම කාලවකවානුව ගත කරන්නෙකුට ඔහු ඒ සිටින සහසම්බන්ධයෙන් පිට ලෝකයක් ඇද්දැයි සිහිවන්නේ ද නැත. එවැන්නෙකුට තමන්ගේ විශ්‍රාම ජීවිතය ගැන, තමන්ගේ මරණය ගැන සිහි වන්නේ නැත. එහෙත් විශ්‍රාම යෑම මරණය සේ නියත ය. විශ්‍රාම යෑම යනු යටකී සහසම්බන්ධයේ මරණයයි. මෙකී කවියේ සිටින උත්තර ම පුර්ෂය හමුවේ දැන් විශ්‍රාම යෑම නමැති ඔහුගේ සුපුරුදු භාවය නමැති රැකියාමය වටපිටාවෙන්; රැකියාමය නිවහනින් නෙරපා හැරීමේ යථාර්ථය පැමිණ ඇත. දැන් මට පැවසිය යුතු දෙය වන්නේ මෙයයි: මගේ ආත්මීයත්වය පහල වන්නේ මගේ සුපුරුදු භාවය බිදවැටෙන තැනක දී ය.
මගෙ ආත්මය දුම්රියේ
ආපහු වැඩට එනු ඇති
සාම්ප්‍රදායික දර්ශනික අදහසට අනුව ආත්මීයත්වය යනු නිරන්තරයෙන් අප දරා සිටින ලොකය විමසන පාරිශුද්ධ ආත්මයක් වැනි දෙයකි. නමුත් කවියා අපට පෙන්වා දෙන්නේ ඊට හාත්පාසින් ම වෙනස් ආඛ්‍යානයකි. මින් පෙර මා ගිය දුම්රිය, මගේ වැඩපොළ, මගේ හිතාදරයන්, විස්කි වීදුරු හැපෙන හඬ මේ සියලු දෑ මේ තැනැත්තාගේ ඇස් ඉදිරි පිට මැවෙයි. මේ සියල්ල මින් පෙර ඔහු ඉතා ම පාරදෘෂ්‍ය ලෙස ගනුදෙනු කළ දෑ ය. මේ දේවල් තිබුණා දැයි ඒ සමඟ බැඳුණු සම්බන්ධයක සිටින අයෙකුගේ අවධානයට ලක් වන්නේ නැත. නමුත් දැන් විශ්‍රාම යෑමට ආසන්නව මේ තැනැත්තාට ඒ සියල්ල ඉතා ම සවිස්තරාත්මකව පෙනෙන්නට පටන් ගනී. ඔහු අවට පරිසරය දෙස අනාසක්තබවකින් දකී. වටපිටාවේ ඇති වස්තූවල ඇති සුවිශේෂී බව ඔහුට අහිමීවී ඇත්තා සේ ය. කෙනෙකුට ෂන් පොල් සාච්ගේ Nausea කෘතියෙහි Roquentin සිහිවනු ඇත.
කවියේ ප්‍රබල ම කොටසක චින්තක සමන් මෙසේ ලියයි,
යමෙකු මයෙ අත් පා බැඳ
වියරුවෙන් හිනැහෙනු ඇති
මගේ ශරීරයට මගේ ජීවිතය කොතරම් තදින් ගැට ගැසී ඇද්දැයි බලන්න! මගේ එදිනෙදා සුපුරුදුභාවය මගේ ශරීරයට පුරුදුකර, හුරුකර, කාවද්දා ඇති අතර ඒ සුපුරුදු භාවය අහිමි වීම හරියට යමෙකු මගේ ආත්පා බැඳ දාමා ඇති සේ දැනෙයි.
කවියෙන් කරන්නේ අනාථභාවයේ සමයන්හී අපට නිවහනක් සැපයීම යැයි හයිඩෙගර් කියයි. නිවහන යනු කුමක් ද? නිවහන යනු ගොඩ නැගිල්ලක් ද?
The truck driver is at home on the highway, but does not have his shelter there; the working woman is at home in the spinning mill, but does not have her dwelling place there; the chief engineer is at home in the power station, but he does not dwell there. These buildings house man. He inhibits them and yet does not dwell in them.
(Poetry, Language and thought, Martin Heidegger)
අපගේ විශ්‍රාමිකාගේ නිවහන ඔහුගේ රැකියා ස්ථානයයි. මෙවැනි මිනිසුන් කොතෙක් අපට එදිනෙදා ජීවිතයේ හමුවෙයි. එවැන්නෙකුට විශ්‍රාම ගැනීමට සිදු වීම යම් ආකාරයක මරණීය අද්දැකීමකි.
කවිය යම් ආකාරයකින් වර්ධනය වන්නේ ද අවමංගල්‍ය උත්සවයක් විස්තර කරන්නාක් මෙනි.
කාගෙ හරි වාහනයකින්
මං ගෙදර ඇරලනු ඇති
යැයි කියන විට අපට දැනෙන්නේ හරියට යළිනොඑන ගමන් එන අයෙකු අවමංගල්‍ය රථයකින් ඇරලවා එන්නා සේ ය.
මේ නිවස්න අහිමිවීම ගැන තවත් අගනා කවියක් වන්නේ කෘතියේ 22 වන කාව්‍ය වන කළුපාට කුරුල්ලාට කවියයි.
ගැහැනියක් තමන්ගේ ස්වාමි පුරුෂයා එන තුරු ගෙවත්තේ ඇති ගසක වසන කළුකුරුල්ලා දෙස බලා සිටී. හරියට ඇයගේ පාලුවට සිටි සගයා සමග සංවාදයක් කරන්නා සේ ය. කෙසේවෙතත්, කාලයකට පසු ඇයට දරුවන් ලැබුණු පසු ඇය ඒ කළුකුරුල්ලා වසන ගස කපා දමා නිවසෙන් පිටව යයි.
එක්තරා ගිම්හාන සමයක
මා ගෙදර එනු දැක
කන්තෝරු බෑගයෙහි
විඩාබර සැන්දෑව අරගෙන
අවුස්සා අතු පතර
ඇසිල්ලෙන් නික්මුණ
කළුපාට කුරුල්ලෝ
නුඹ සිටින්නේ කොහෙද?
එකල ඇය නිරතුරු
බලා උන් හැටි සිහිවෙයි
ප්‍රීතියෙන් හා ශෝකයෙන්
නුඹ ඇවිත් වසා හුන් අතු දෙස
දූ අපේ කැදැල්ලට ආපසු
කිරි සුවඳ කලබලේ අරගෙන
සියතින් ම ඇය කපා හෙළුවා
නුඹ ඇවිත් නතර වූ මහ ගස
-පිටුව 39
හරියට ඇයට ඇය සිටි ගෙදර හුදු ගොඩ නැගිල්ලා වූවා සේ ය. ඇගේ වටපිටාව එහි ඇති සුවිශේෂිත්වය අහිමි වී නුපුරුදු තැනක්, පසමිතුරු තැනැක් වූවා සේ ය. ඇතැම් විට අපට අපගේ වටපිටාවේ ඇති සුවිශේෂිත්වය අහිමිවීම සිදු වන්නේ ඉතා ම පුදුමාකර ලෙස ය. සමහරුන් අපගේ ජීවිතවලින්, අපගේ නිවස්නයන්ගෙන්, රැකියාවන්ගෙන්, තනතුරුවලින්, මිත්‍රත්වයෙන්, නෑකම්වලින් ඇතැම්විට ජීවිතයෙන් පලා යද්දී ඇතැම් විට අප පුදුම වන්නේ මේ නිසා ය.
මිනිස්සු මෙහෙම කරන්නෙ ඇයි? මෙවැනි ප්‍රශ්නවලට සපයන බොහෝ මනෝවිද්‍යාත්මක, චර්යාවදී න්‍යායාත්මක පැහැදිලි කිරීම් අපගේම (නො)අර්ථනිරූපන ය. මනුෂ්‍ය පැවැත්ම යනු එබන්දකි. කවියන් සිටින්නේ එකී පැවැත්ම අනාවරණය කරන්නට ය.
කුසල් කුරුවිට