(කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීටයේ 2025-04-30 වන දින පැවැත් වූ “විචාර සංවාද” වැට සටහනේ දී මා විසින් මෙකී කිවිදියන් පිළිබඳ කළ කථාව ඇසුරිනි)
කාව්‍ය අවශ්‍යයෙන් ම භාෂාත්මක දෙයක් වුවත් එහි දී වඩාත් වැදගත් වන්නේ භාෂාත්මක අඩංගුවට වඩා භාෂාව විසින් සඟවන අඩංගුවයි. මේ නිසා කාව්‍ය යම් ආකාරයකින් සිදු කරන්නේ භාෂාවෙන් පැවසිය නොහැකි දේ පැවසීම යි. භාෂාවෙන් පැවසිය නොහැකි දේ යනු භාෂාත්මක යමක් විය හැකි ද? මෙලෙස යම් යථාර්ථයක් භාෂාත්මක අඩංගුවකට උණනය කළ විට එම භාෂාත්මක අඩංගුවෙන් ආවරණය නොවන තවත් යමක් ඇති බව අපට පෙනී යයි. මේ අනුව කාව්‍යයක් තුළ අර්ථ අතිරික්තයක් පවතී. නමුත් කාව්‍යයක ඇති මේ අර්ථ අතිරික්තය නිසා අපට කාව්‍ය වටහා ගැනීමේ අපහසුවක් ඇති නොවේ, මන්ද අපට සැම විට ම කාව්‍යයක් තුළින් අප සමාජයක් ලෙස බෙදා හදා ගන්නා දැනුම් පද්ධතියක්කට හා පසුබිම් පරිචයන්ට යොමු වෙන බැවිනි. මෙම පසුබිම් පරිචයන් සහ බෙදාහදාගත් දැනුම භාෂාත්මක දැනුමකට වඩා පවතින්නේ සංකල්පගත නොකළ දැනුමක් ලෙසයි. ඒවා පැහැදිලිව වචනයට නගා හෝ සංකල්ප ගත කර නැත. ඒ වෙනුවට එය භාෂවෙන් පැවසිය හැකි දෙයකට වඩා පෙන්විය හැකි දෙයකි. එවැනි දැනුම අප embodied දැනුමක් ලෙස හඳුන්වයි.
නිදසුනක් ලෙස විහිළුවකට සිනාසීම, සහ දුක යනු එබදු දැනුමකි. විහිළුවට සිනා සුනේ, ඇයි අපට දුක හිතුනේ යැයි අපට වචනයට නන්වීම ඉතා ම අපහසු කාර්යයකි. විහිළුව හෝ දුක දැනෙන්නේ අප යම් ආකාරයක බෙදා හදාගත් දැනුමක් පවතින නිසා ය. ඒ බෙදාහදාගත් දැනුම පිළිබඳ අදහසක් නැති අයෙකුට එම විහිළුවට සිනාසීමට හෝ දුක හිතීමට නොහැකිය. බෙදාහදාගත් දැනුම පිළිබඳ අපට ඇත්තේ යම් ආකාරයක සුපුරුදු බවකි. අනෙක් අතට මේ දැනගැනීම ඇත්තේ අපගේ මනස යනුවෙන් හඳුන්වන දෙයට වඩා අපගේ ශරීරයේ ම ය. විහිළුව කියූ වහා, එය සංකල්ප ගත කරගැනීමට ප්‍රථම අපට හිනා යයි. කාව්‍යක් වටහා ගැනීම යනු ද මෙවැනි සංකල්ප ගත කිරීමට පෙර සිදු වන දෙයකි. පසුව අප එය අප දන්නා සංකල්ප වලින් සංකල්ප ගත කරගනී. මේ ශාරීරික වටහා ගැනීම සුපුරුදු බව තුළින් එන දෙයකි. මේ නිසා මගේ රචනයේ අරමුණ වන්නේ මේ කිවිදියන්ගේ කාව්‍ය තුළින් ආමන්ත්‍රණය කරන අපට සුපුරුදු බෙදාහදාගත් දැනුමේ සේයාවන් අධ්‍යනය කිරීම ය. විශේෂයෙන් ම මගේ අවධානය මෙහි දී යොමු වන්නේ ස්ත්‍රීත්වය පිළිබඳ හෝ gender sensitivity පිළිබඳ ඇති embodied දැනුම පිළිබඳ ය.
කල්පනා ඇම්බ්‍රෝස්ගේ අරියාද්නේ නම් කාව්‍ය සංග්‍රහයේ එන මේ කවිය බලන්න:
විශ්වයෙහි බිහි වූ
සියලු විෂයයන් ගැන
කතා කොට අවසන
එක්තරා දවසක
මඟ හරිනු බැරි ඒ
නිහඬ බව එළඹේ
එතැන් සිට
වෙන් ව ගොස්
හුදෙකලා වූ අය අතර
විෂය නැති වචන නැති
සංවාද ඇරඹේ
කවිදිය මේ කියන සංවාදය අපට හඟ වන්නේ අපගේ ශාරීරික දැනුම මඟින් කරන මෙනෙහි කිරීමකට ය. මේ ශරීරික දැනුමේ මෙනෙහි කිරීම් යනු අපගේ ශරීරය යම් යම් ආකාරයකින් දේවල්වලට ප්‍රතිචාර දක්වන අයුරුයි. එය ආරම්භ වන්නේ වචන අවසන් වූ පසුව ය. වචන අවසන් වූ පසුව අපගේ අත් තවමත් ලිවීම අරඹයි, වචන අවසන් වූ පසුව අපගේ ඇස් පෙර නොදුටූ විරූ දේ දැකීම අරඹයි. න්‍යායික සහ සංකල්පීය අදහස් දැක්වීම අවසන් වීමෙන් පසු ඇරඹෙන සංවාද නිර්මාණශීලිත්වයේ අවකාශයක් නිර්මාණය කරයි.
ස්ත්‍රීත්වය යනු ම embodied දැනුමකි. ගැහැනියක් වීම හුදෙක් ජීව විද්‍යාත්මක සාදකයකට පමණක් උණනය කළ කළ නොහැකි ය. මන්ද මනුෂ්‍යයාට ජීව විද්‍යාත්මක නොවන දේ විශාල ප්‍රමාණයක් පවතී. ඇයව එයින් වෙන් කර පොදු මනුෂ්‍ය වර්ගයාගේ කොටසක් කිරීම නමැති තර්කය අසාර්ථක වන්නේ කෙලෙසදැයි වටහා ගැනීමට හනා ආරන්ට්ගේ මානව හිමිකම් පිළිබඳ විවේචනය ඇසුරු කිරීම වටී. ගැහැනියක් වීම පිරිමියෙක් වීම යනු ජීව විද්‍යාත්මක දත්ත ඇසුරෙන් ම නිගමනයකට එළඹිය හැකි දෙයක් නොවේ. ගැහැනියක් වීම සහ පිරිමියෙක් වීම පිළිබඳ අපට ඇත්තේ බෙදාහදාගත් දැනුමක් සහ අපගේ ශරීරයට කාවැදුණු දැනුමකි. එය සම්පූර්ණයෙන් ම පැහැදිලි ලෙස ආඛ්‍යානයට නැගිය හැකි දෙයක් නොවේ. ඒ පිළිබඳ පරිචයන් ඇත. එය යම් ආකාරයකින් සංස්කෘතිකමය දෙයකි. අප කතා බහ කරන, අඳින පළඳින ලියන කියන විදිය සහ අපගේ සංවේදීතාවයන් මේ පරිචයන්ට ඇතුළත් වේ. ඒ අනුව ගැහැනියක් සහ පරිමියෙක් වීම පිළිබඳ අදහස් පවතින්නේ මේ පරිචයන් සහ ඒ පිළිබඳ ශාරීරගත කර ඇති දැනුම වටා ය. මේ පරිචයන් සහ දැනුම අපට අත්කර ගත හැකි ය. එය අපගේ ශරීරික දැනුමේ කොටසක් බවට පත් කරගත හැකිය. ඒ අනුව ඒ පිළිබඳ සුපුරුදු භාවයක් ගොඩ නගා ගත හැකි ය. අපව කුඩා කාලයේ පටන් මේ සුපුරුදු භාවය තුළ පුරුදු පුහුණු කරයි. මගේ සමාජභාවය මා සොය ගන්නේ මෙලෙස ය. මෙය සොයා ගැනීමක් ලෙස පෙනුන ද මෙය එනයින් ම සොයා ගැනීමෙක් නොවේ.
සැමුවෙල් ටෝඩ්ස් මෙසේ පවසයි.
In practical perception, the subject is in search of himself. What he seeks is, indeed, to find himself, not to create himself, in the midst of his circumstances. But what he achieves in the course of this search is the capacity to find himself. By seeking to find himself he first makes himself capable of finding himself. His need-prompted self-movement is directed toward the self-discovery that comes with the discovery of what one finds satisfying. By his self-movement directed toward his self-discovery, the percipient is self-made as capable of self-discovery. Self-movement is required in order to transform the need for self-discovery into the capacity for it. The self so produced is thus a creative discovery. (Body and World, Samuel Todes)
කල්පනා ඇම්බ්‍රොස් කිවිදිය ඇගේ කෙටි කාව්‍ය සංග්‍රහයක් වන “පියා නොහැඹූ පියාපත්” හී මෙසේ ලියයි:
පිරිමි වීදුරු තුළ
පිරවෙයි
ගැහැනු වයින්
මේ අනුව අපට මා කලින් සඳහන් කළ බෙදාහදා ගත් දැනුම නමැති අප්රකාශිත හෝ බොහෝ විට අපහැදිලි ලෙස ප්‍රකාශිත සම්පූර්ණයෙන් වචනයට නොනැගූ දන්නා අය පමණක් දන්න දැනුමක් වෙත මඟ පෑදෙයි. මේ බෙදා හදාගත් දැනුම වෙත ප්‍රවේශය ඇත්තේ ඒ බෙදාහදාගත් දැනුම බෙදා ගන්නා අය වෙත ය, බැහැරින් සිටින අයට එහි සියුම් බව වටහා ගැනීමට යම් ප්රයාත්නයක් දැරිය යුතු ය.
අනුරාධා නිල්මිණී ලියන මෙකව බලන්න:
හැඟීම් තිබේ, සමහර
වැහුණු දොරවල් ඇගෙන
කැඩුණු බස්වල හිටගෙන
මුහුණු මත ඇවිත් ලියැවෙන
හැඟීම් තිබේ සමහර
ගැහැනු විතරක් ම කියවන
-රිදුම් පිරි පිරිමැදුම්
මේ හැඟීම් අපි කතාවට හිතේ තිබෙනවා යැයි කීයුව ද මේ හැඟීම් යනු ටොඩ්ස් කියන practical perception එකකි. ගැහැනුන් තවත් ගැහැනියක් වෙත දක්වන මේ හැඟීම් සමහර විට ගැහැනියක් ලෙස තමාව හඳුන්වා නොගන්නා අයට ප්‍රවේශ ඇති දෙයක් නොවේ. ඒ සඳහා යම් පුරුදු පුහුණු වීමක් අවශ්‍යය. දැනුම යනු හුදෙක් අප පොත් කියවා ලබා ගන්නා න්‍යායාත්මක සහ සංකල්පීය දැනුම පමණක් නොව, මේ දැනුම අත්කරගැනීම ම අපට හැකි කරනව අප තුළ වගා කළ ශරීරික දැනුමක් අපට ඇත. ආදරය යනු එවැන්නකි. ආදරය ක්‍රියාවකි. එය දැනුම ලබාගැනීමේ කොන්දේසියකි. නිර්මාණාත්මක යමක බිහිවීමේ කොන්දේසියකි.
අනුරාධා ලියන මේ කෙටි කාව්‍ය බලන්න.
දිරන දර මැද
ළ’පැල්ලක් ව
සැඟවෙමි
නොදිරමි
එහි ම
දිරමි
කල්පනාගේ ප්‍රේමයේ මිල ගෙවා සැතපෙන්න පෙඳ පාසි අතරින් කාව්‍ය අපට ඉඟි කරන්නෙ එවැනි දෙයකි. යම් ආකාරයකින් මේ කාව්‍ය රසවිදීමට වදරින් හයිට් කෘතිය ඇසුරු කර තිබිය යුතු ය. තවත් අතකට ප්‍රේමයක එක් වරක් හෝ වෙලී තිබිය යුතු ය. තවදුරටත් ගැහැනියක් වීම යනු කුමක් ද පිළිබද අදහසක් තිබිය යුතු ය. මේ පසුබිම් දැනුම නොමැති ව මෙවැනි කාව්‍යකට එළඹීම ඉතා අපහසුය. මන්ද නුපුරුදු අයට මෙවැනි කාව්‍ය සිය දොරවල් අරින්නේ නැත. හරියට කල්පනා කියනව වගේ ‘පණ තියෙන දොර කවුළු මළුවන්ට ඇරෙන්නෑ”. මේ කාව්‍ය පරිවර්තනය කරන අයගේ හමුවේ ඇති විශාල අභියෝගය වන්නේ ද මෙයයි. මේ ශරීරික දැනුම, මේ බෙදාහදාගත් දැනුම පරිවර්තනය කරන්නේ කෙසේ ද?
කළුවර ම හයිටයට ඉහළින්
නැගෙන සරදම් සඳ එළිය අතරින්
ඔබේ ඔය සොහොන මත දුවන්නේ
ස්නේහයේ මතක මල්වැල් නො වේ
වෛරයේ පෙඳපාසි කැතරින්
මල්වඩම අත නොදැරුවත්
අත් නොහැර දැඩිව ගත්
හුස්ම පොද නිවන්නට
අවසාන කුණාටුව ගෙනාවේ
ජීවිතය මෙයමයි තිර ව ඇදහූ
ඒ එක ම ප්‍රාණය නො වෙද කැතරින්
සිතුවිලි විශ්වය ම අත්පත් කර ගත්තාට
ප්‍රේමයේ කුරුසිය කර තබා
මිනිහෙකුගෙ සැනසීම
නැත්තට ම නැති කෙරුවාට
ගෙවිය යුතු මිල
ජීවිතය නොවෙයි කැතරින්
කාව්‍ය පිළිබඳ විචාරය වහ වහා මෙබදු කිවිදියන්ගේ කවියන්ගේ ජීවිතය හා බද්ද වෙච්ච දේ විමසන අධ්‍යනයක් බවට පත්වීමෙන් මනුෂ්‍යත්වයේ අප තවමත් අනාවරණය කරනොගෙන ඇති නමුත් කවියන් විසින් දැනටමත් අනාවරණය කරගනිමින් සිටින දැනුමක් වෙත ප්‍රවේශය ලබාගත හැකි බව විශ්වාස කරමි. දැකීමට අපහසුම දේ අත්තේ අප හොඳින් දැක පුරුදු දේ තුළ ය.
කුසල් කුරුවිට